fbpx
12.2 C
New Zealand
Wednesday, October 23, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ආයාචනය… | අනූ වීරකෝන් | වෙලින්ටන්

Must read

මේ පාර නම් කටුනායකට ළං වෙනකොට දැනෙන්නේ වෙනම හැඟීමක්. අන්තිම දවස වෙනකම් රස්සාවට දුවලා රෑ එළිවෙනකන් බෑග් පැක් කර ගෙන උදේ පාන්දර ඔක්කොම නඩේ එකතු කර ගෙන අවුරුදු ගානක් තිස්සේ ගිය ගමන කොච්චර වෙහෙසකර ද? අවුරුදු 25ක් පුරාවටම මම මේක කොහොම කරා ද කියලවත් දැන් නම් හිතා ගන්න අමාරුයි. ඒත් අද එක සූට් කේස් එකක් සහ හෑන්ඩ් ලගේජ් එකක් අරගෙන යන මේ ගමන හරිම සැහැල්ලුයි නේද? ඔය කියන්නේ ඇත්ත බර ද?  හිත ගැන ද? මගේ හිත අහන මේ ප්‍රශ්නයට උත්තර තියෙනවද?එතකොට එහෙනම් ඔය සැහැල්ලුව කියන එක කොතෙන්ටද දැනෙන්න ඕන.  මහා අපබ්‍රංස සංකල්පයක්නේ මේ සැහැල්ලුව කියන්නේ.

හිමින් සැරේ ගුවන් යානය පොල්ගස් උඩින් කටුනායකට ළං විය.

‘අම්මෝ අවුරුදු කීයකටද පස්සේ මේ දකින්නේ,’ යි කී වරුණි මාව තදින් වැළඳ ගත්තාය.

‘ඔව් නේ මේ කෝවිඩ් කතන්දරේ ඉවරවෙනකම් කොහෙටවත් යාගන්න බැරි වුණානේ. හැබැයි ඉතින් ඒ වෙනකොට අපේ ජීවිත උඩු යටිකුරු වෙලා නැද්ද?’ මම කීවෙමි.

ඩෙනිම් කලිසමට ලොකු ටී ෂර්ට් එකක් ඇඳගෙන කොන්ඩේ උඩට කරලා ගැට ගහගෙන සිටි වරුණිගෙන් දිස්වුණේ  එදා මට මුණගැහුණු පාසල් මිතුරියම ය. ඒත් හොඳින් බලන විට ඇය දෙසින්ද මා මෙන්ම කාලයට නතු වූ වියපත් බවේ සළකුණු පෙනෙන්නට ඇතැයි මට සිතුනි.

‘ඉතින් ඉතින් කියන්නකෝ දැන් අලුත් ජීවිතේ කොහොමද කියලා,’ වරුණි ඇසුවාය.

කටුනායකින් අධිවේගී මාර්ගයට දැමූ වාහනය විදුලි වේගයෙන් ඇදෙනු දැනේ. වාහනේ වේගය නිසා හිතට ආ අදහස වචනවලට කැටි කර ගැනීමට නොහැකිව  මා  දඟලන වග මටම දැනුනි. උදේ හවා පිටරට පැයට සියයේ වේගයෙන් වාහනේ පදවන මම ඇයගේ මේ වේගය ගැන මොනවාට බය වෙනවද මම සිතුවෙමි. කල්පනා ලෝකයෙන් මිදිලා වරුණි ඇසූ ප්‍රශ්නයට මම පිළිතුරු දුන්නෙමි.

‘මගේ අලුත් ජීවිතේ දැනට නම් ඉතින් නිස්කලංකව ගත වෙනවා. අපි කොහොමද දන්නෙ ඉස්සරහත්  ඒක එහෙමද කියලා.’

ආයෙත් හිතට වරුණිගේ වාහනයේ වේගය හිතට වද දෙයි. ඒත් පුරුද්ද ? ඔව් පුරුද්ද කියන්නේ කටුනායක ඉඳන් කොළඹට එදා ගමන කියන්නෙ අතීතයේ වර්තමානයේ සැරින් සැරේ සැරිසරන්න ඉඩ හදලා දුන්නු අවකාශයක්. ඒ යන වේලාව කෙතරම් දිග වුණත් එය මනසට සුවදායී ගතියක් මට දැනී තිබුන බව දැන් සිතේ. අපේ ජීවිතවල උඩු යටිකුරු වූ තැන්  හොයමින් හිතමින් ගිය ගමන දැන් වේගවත්  වෙලා. ‘වේගය’ ඔව් වේගය කියන්නේ මොකක්ද එහෙනම්? එක තැනකදී හුරු එක  තව තැනකදි නුහුරු වෙන  එක්තරා තවත් එක අපබ්‍රංස සංකල්පයක් නේද?

‘ඒක නෙමෙයි,  ඔයයි මමයි තරුව බලන්න යං නේද මේ පාර? කෙල්ලගේ තත්ත්වය නං එච්චර හොඳ නෑ.’ වරුණි කීවාය.

‘ඔව් මම ඒක හිතාගෙනමයි ආවේ. අපේ ජීවිතවල තියෙන දේවල් එක්ක දුවන කොට අපි වටේ අය හති වැටිලා, නැවතිලා, නැගිටින උදව් ඉල්ලනවා කියලා පේන්නෙම නැති වෙලා යනවා.’ මම කීවේ ඉහළට ගත් හුස්ම ඉතා හිමින් පහළට තල්ලු කර යවමින්ය. ‘If your cup is not full how could you fill  another cup!’ මගේ හිත මොරගාමින් කියයි.

‘වරුණි, ඇත්තටම දැන් තරුගෙ තත්වේ කොහොමද? තාම අංගොඩ හොස්පිටල් එකේද?’ මම ඇසුවෙමි.

‘ඔව්. එහේ තමයි. ඒත් පහුගිය දවස්වල කෝවිඩ් හැදිලා සෑහෙන්න අමාරු වෙලා තිබුණා. ඉස්සෙල්ලා වගේම කීප සැරයක්ම සුවිසයිඩ් කරගන්නත් හදලා තියෙනවා.’ වරුණි කීවේ ඈත පාර දිහා හිස් බැල්මක් යොමා ගෙනය.

‘තාම කියනවද අර එයා දීපු එක ගෙනත් දෙන්න කියලා?’ මම  ඇසුවෙමි.

‘ඔව් හැමදාම එයා ගාවට එන අයගෙන් ඒක තමයිලු ඉල්ලන්නෙ. අනේ මම එයාට දුන්න එක ඉල්ලලා දෙන්න කියලා.’ වරුණි මා දෙස හැරෙමින් කීවාය.

‘ආහ් එහෙමද?’ මට හිමින් කියවුණි.

‘මේ කතාව වැඩිපුරම කියන්නේ ඒ වෝඩ් එකේ ඩොක්ටර් සත්‍යජිත්ට. හැම තිස්සෙම අනිත් වැඩ කරන අයගෙන් සත්‍යජීත් එයාව බලන්න එයිද කියලත් අහනවාලු.’ වරුණි කීවේ තරමක් හෙමින්ය.

‘අපි බලන්න ගියාම එතන ඉන්න ඩොක්ටර්ස්ලා නර්සර්ස්ලා අහනවා ඒක ගැන විස්තර මොනවා හරි දන්නවද කියලා. දන්න ටික කිව්වා. ඉතින් මොනවා කියලා කියන්නද. ඒ මනුස්සයා ඒ අත ඇරලා දාපු දැමිල්ලට මෙහෙම නොවුණොත්නේ පුදුමේ. නිකමට හොයලා බලන්නෙවත් නැහැනේ මොකද  වුණේ කියලා. මුන් තමයි පුදුම ආදරවන්තයෝ.’ වරුණි සමච්චල් මුසු සිනහවක් නගමින් කීවාය.

‘මම ඔන්න අරගෙන ආවා අපේ ගෙදර තියලා ආපු එයාගේ ඩයරි එක. ඒකේ ඉතින් හැම තැනම තියෙන්නේ මේ කතාව තමයි. වෙලාවකට මට හෂාන්ව හොයාගෙන ගිහිල්ලා හොඳ දෙකක් කියන්න හිතෙනවා.’ මම කීවෙමි.

‘ඒ කියන්නේ උඹ ඩයරි එක කියෙව්වද?’ වරුණි ඇසුවාය

‘ඔව් මම කියෙව්වා ෆ්ලයිට් එකේ එනකොට. මොකද මගේ මේ ගමනේ මොකක් හරි තරූට උදව්වක් වෙනවා නම් ඒ ටික මම කරලා යන්න ඕනේ. නැත්නම් මගේ හිතට හොඳ නෑ. මමනේ මේ සම්බන්ධය ගැන දැනගෙන හිටියේ .’ මම කීවෙමි.

‘ඒක නෙමෙයි ඔයා දන්නවද තරු තාම එදා වගේම ලස්සනට කවි ලියනවා. පුදුමෙ කියන්නේ මේ ලෙඩේ ඒ කවි ලියවිල්ලට බාධාවක් වෙලා නෑ. ආදරයයි විරහවයි කියන දෙක හොඳට වෙන් කරගෙන ලස්සනට ලියනවා කියලා ඩොක්ටර්ස්ලා නර්සර්ස්ලා කියනවා. ඉතින් මට තේරෙන්නේ නැත්තේ ඔය දෙක තේරෙන කෙනාට මේ හැදිලා තියෙන දේට බෙහෙත් කරලා හොඳ කරගන්න බැරි ඇයි කියලා.’ වරුණි මහා ප්‍රශ්නාර්ථ මූණකින් මා දෙස හැරෙමින් කීවාය.

‘ආදරේ කියන එක මහ මාරාන්තික ලෙඩක්. ඒක වසංගතයකටත් වඩා හපන්. ආදරය කියන්නේ දැනීමක්. ඒක තමන්ට විතරක් දැනිලා තමන් ගාවම විතරක් තියෙන්න ඕන දෙයක්. අපි ඉතින් ඒක දැනුණු ගමන් අනිත් එක්කෙනාට කියනවනේ. එතන ඉඳන් ඒගොල්ලො කරන්නේ දේශපාලනයක්. අපිට කැමති දේ කියලා අපේ ඡන්දය, මනාපෙ  ගන්න කැම්පේන් එක ගෙනියනවා.’ මම කීවෙමි.

‘මොකක්ද ඒ කිව්වා අපබ්‍රංස කතාව?’ වරුණි වාහනය තිරිංගය තද කරමින් මගේ දිහා පුදුමයෙන් බැලුවාය.

‘මේ මට තේරෙන්නේ නැති ඒවා මං දාලා තියෙනවා අප්‍රබංස කියලා ගොඩකට. ඔය වගේ කන්ෆියුස් සංකල්ප හම්බුනාම මං ඒකට තල්ලු කරලා දානවා. ඔළුව වෙහෙස කරගන්නේ නැතුව. ඉතින් උඹත් ඔන්න ඔය ආදරේ කියන එක අප්‍රබංස ගොඩට තල්ලු කරලා දාලා හිටපං.’ මම කීවෙමි.

වාහනේ හෙමින් ගාලු පාර දිගේ ඇදෙන්නට විය. වේගය අඩු වී ඇත. වාහනයේ ස්පීකරය හරහා  දුරකථනය නාද විය. ‘වරුණි, මේ කතා කරන්න පුළුවන් තැනකද නැත්තං ඩ්‍රයිව් කරනවද?’ ඒ නිලූගේ කටහඬ බව මොහොතකින් මම හදුනා ගත්තෙමි.

‘ඔව් මම මේ එයාර් පෝර්ට් එකෙන් චමාව අරගෙන එන ගමන්. කියන්න නිලු මොකද්ද කතාව.’ වරුණි කීවාය.

‘වරුණි, ඔයාට පුළුවන් නම් ඔය වෙහිකල් එක  චුට්ටක්  නවත්තනවද?’ නිලූ  ඇසුවාය.

‘පොඩ්ඩක් ඉන්න. මම එහෙනම් නවත්තන්නං. ටිකක් ට්‍රැෆික් එක තියෙනවා.’ වරුණි වාහනය මදක් ඉදිරියට ගොස් නතර කළාය.

‘ඔව් නිලු කියන්න.’ නිලූගෙන් එහා පැත්තේ ඇසුනේ ඉකි හඬක් පමණි. වරුණි තරමක් කලබල වූවා ය.

‘මොකක්ද අවුල කියන්න. චමා විතරයි කාර් එකේ ඉන්නේ ප්‍රශ්නයක් නෑ.’ යලිත් වරුණි කීවාය.

ඉකිබිඳීම අතරින් එහා පැත්තේ බිඳුනු හඬකින් නිලූ වචන ගැට ගසමින් මෙසේ කීවාය.

‘අනේ වරුණි, තරුව අපිව දාලා ගිහින්.’

මමත් වරුණිත් මූණට මුහුණ බලා ගත්තෙමු.

මුණගැසීම් වෙන්වීම් අතර කාල පරිච්ඡේදයට ද මේ  ජීවිතය කියන්නේ. ඒ කියන්නේ මේ ‘ජීවිතය’ කියන මහා බොරු ප්‍රාණමය වචනයෙන් තරූ දැන් මිදිලා ගිහිල්ලා. එහෙනම් ජීවිතයත් ඔය තවත් එක නොතේරෙන අප්‍රබංස සංකල්පයක්ද කොහෙද?

මට තරු ගැන ඇත්තේ උපේක්ෂා සහගත බවක් මිස දුකක් නොවේ යැයි දැනේ. අපබ්‍රංස  සංකල්ප ගොඩක් කර ගහගෙන යන ජීවිතය,  මහා මුලාවට ඇද දැමුව ‘ආදරය’ යන තේරුමක් නැති සිද්ධාන්තයෙන් ද දැන් ඇය මිදී ඇත. මුණ ගැහෙන්න පමා වුණාට මට සමාව දෙන්න තරූ.  මට කියන්න ඕන වෙලා තිබුනේ හෂාන් ඔයාට කවදාවත් ආදරේ කරේ නෑ කියන එක.

හැබැයි ඔයාගේ ආදරය මොන තරම්  කවියේ තැවරුව ද ඔයා. අපි කොච්චර ඒ කවි රසවින්ද ද? එන ආත්මේ තරූ  ඔයාට මුළු හිතින්ම ආදරය කරන කෙනෙක් මුණගැහේවි. එතකොට ඔයා අර දීපු දෙය ආයි ඉල්ලන්න ඕන වෙන එකක් නෑ. වරුණි තවම සුක්කානමට හිස ගසාගෙන සිටියි. මම තරූගේ ඩයරිය අතට ගත්තේමි. තරූ හැමදාම කවි පේළි කීපයක් ලියා තිබුණි.

‘නික්මෙනා දේහය ළඟ
බලා සිටියට නිසලව
හඬන හිත නම් කිසි විට
පලක් නැත දැන් තැවුනට.

‘අළුපාට ඒ දවසට
පිරිස හා එක් වී සැම
පස් පිඩක් ගෙන අතකට
වසනු මැන රැඳී මතකය.

‘ලොවක් නොදුටුවාමය
පොඩිකරපු ඒ පද ටික
කෑ ගසා දැන් කියනවද
නොලිව් පද ටික කවියට.

‘හාදුවක් නික්මෙන දින
ලැබෙනව ද සීතල මට
හිතට උණුසුම් දෙන්නට
රැගෙන යන්නම් එය මම.

‘තනිව යන මේ ගමනට
පාළුවක් දැනුනම හෙට
ආදරේ වෙලාගත් හිත ළග
සොයාවිද යළි රුව මම.

‘ඔබට නොදැනුන පෙමකට
රිදුම් දුන් තරමට හිත
තද කරන් ඒ දුක මම
නිසල වුණි දැන් සදහට.

‘පස් පිඩක් දාන්නවත් මං හිතන්නේ ඔයාට වාසනාව ලැබෙන්නේ නෑ. අපි මොනතරම් නොසැලකිලිමත් ද? අපේ තියෙන වටිනාම දෙය කියන ‘හදවත’ වෙන කෙනෙකුට දෙනකොට නේද වරුණි.’  නිහඬතාවය බිඳිමින් මම කීවෙමි.

 

අනූ වීරකෝන් – වෙලින්ටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.