fbpx
5.6 C
New Zealand
Friday, July 5, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගින්නට පැන්න ආදර කිරිල්ලී | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

එකල පාපැදි බයිසිකලයකින් වුවද ළමයකු පාසැලකට ගියා නම් ඔහු ගමේ අතමිට ඇති පවුලක අයෙකි. එබැවින් බොහෝ පිටිසර ගම්වල ළමයින්ට පාසැල් යාමට සිදුවූයේ සැතපුම් ගණනාවක්ම පාගමනින්ය. ඉඳහිට දුරින් පිහිටි නගරයේ පාසැලකට බස් එකේ යන ළමයින් හිටියා නම් එයද අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. එකල පෞද්ගලික පන්ති තබා රජයේ පාසැලේ පන්තිවලටත් ළමයින් දැක්වූයේ අඩු උනන්දුවකි. සමහර ළමුන් 8 සමත් වන විටම ගමේ රැකියාවලට ගිය අතර බොහෝ දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ වහාම රජයේ රැකියාවලට ඇතුලත් විය. උසස් පෙළ අවසන් වනතෙක් ඉගෙන ගත් ළමුන් අතර තරඟයක් තිබුණේ නැත. සරදා වයස 20 ඉක්මවු තරුණයෙකි. යමක් කමක් තිබු පවුලක උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තෙක් ඉගෙන ගත් තරුණයෙකි. විජේ ඔහුගේ ගජ මිතුරාය. දෙදෙනාටම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට තිබුණේ සුළුපටු උණක් නොවේ. කඹුරුපිටිය නගරයේ අවට ජනප්‍රිය පෞද්ගලික ඉංග්‍රීසි පන්තියක් තිබුණේ මාපලාන නැමැති ගමේය. එය සැතපුම් 10 ක් 15 ක් අතර දුරට එම පළාතේ ළමුන් අතර මෙම ඉංග්‍රීසි පන්තිය ජනප්‍රිය එකක් විය. පන්තියේ ගුරුවරයා ඉංග්‍රීසි උගත් විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයෙකි. පන්තියේ උගන්වන විට සරමක් හා අත්කොට කමීසයකින් ඔහු සැරසුණු අතර නිතර සිනාමුසු මුහුණින් සිටි ප්‍රියජනක චරිතයක් ද විය. වැදගත්ම කරුණ නම් එකල පාසැලේ ඉංග්‍රීසි විෂය බොහෝ දෙනෙකු අසමත් වුවද තැපැල් මහතාගේ පන්තියේ ළමුන් කිසිවකු ඉංග්‍රීසි විෂය අසමත් නොවීමය. එය අපූරුම ඉගැන්වීමකි. දිනකට පන්ති තුනකි. සරදා හා විජේ රාත්‍රී පැවැත්වූ ඉංග්‍රීසි පන්තියට යාමට තීරණය කළේ දෙදෙනාටම පාපැදි දෙකක් තිබුණු හෙයිණි. රාත්‍රී පන්තියේදී තැපැල් මහතා ඔවුන්ට දුන් එක උපදෙසකි. එනම් ඔබ දෙදෙනාට විභාගය සමත්විය නොහැකි බවය. මෙම දෙදෙනාට ඒ වනවිට ඉංග්‍රීසි අවම දැනුමක්වත් නොතිබුණු බව එයට හේතුව විය. එබැවින් මෙම තරුණ ළමයි දෙදෙනාට උදේ පැවැත්වෙන පුර්ණ කාලීන පන්තියට මෙන්ම රාත්‍රී පන්තියට අමතරව නොමිලේ පැමිණීමට කාරුණික අවසරයක් තැපැල් මහතා විසින් ලබා දුනි. රාත්‍රී පන්තියට පැමිණි සියළු දෙනාම පිරිමි අය විය. එබැවින් සියල්ලෝම ඇඳගෙන පැමිණියේ සරමක් හා කමීසයකි. එබැවින් විජේ හා සරදා උදේ පන්තියට සහභාගි වූයේද රාත්‍රී පන්තියට අඳින නිල ඇඳුම වූ සරම හා කමීසය සමගය. නමුත් උදේ අටට ආරම්භ වන මෙම පන්තිය පැය හතරක්  පැවැත් වූ අතර ගැහැනු, පිරිමි, තරුණ තරුණියන්  විස්සක්  පමණ විය. විනීතා පන්තියේ සිටි වැඩිමහල්ම ගැහැනු ළමයා වූවාය. ආගමික නැඹුරුව පමණක් නොව හෙළ සිරිතට අනුව හැදුණු වැඩුණු ඇය පන්තියේ නායිකාව බවට පත්වූයේ නිතරඟයෙනි. ඊට අමතරව ඇය ඉගනීමටද දැක්වූයේ අසමසම දක්ෂතාවයකි. විජේ හා සරදා කෙලිලොල් පාසැල් වයසේ මල්ලිලා දෙන්නකු බැවින් ඔවුන් ඇයගේ මිතුරන් බවට පත්වන්නට ගතවූයේ දින කීපයකි. මල්ලිලාට නොදන්නා ඉංග්‍රීසි කියාදීමට ඇයට සිදු වූයේද කාලය සමගය. ඉංග්‍රීසි පන්ති දෙකටම යන මෙම කොළු ගැටවුන් දෙදෙනාට පන්තියේ සිටි අනිකුත් වැඩිමල් අයියලා අක්කලාගේ සැලකුම් අඩු වූයේ නැත. පන්තිය ඉදිරිපිට ඇති ජම්බු ගසට බොහෝවිට නගින්නේ විජේ හෝ සරදාය. ජම්බු ගස ළඟ තිබූ උගුරැස්ස ගස ගෙඩිවලින් බර වී තිබුණ ද උල් කටු පොකුරු නිසා කිසිවෙකුටත් ගෙඩි කඩාගෙන කෑමට නොහැක. එදා විවේක කාලය ලැබී සියළුදෙනාම මිදුලේ ජම්බු ගස යට සෙවනේ දොඩමළු වෙමින් ඇත. “සරදා මල්ලි, අනේ උඩ පැනලා උගුරැස්ස වල්ලක් කඩලා දෙන්නකෝ” විනීතා අක්කාගේ ඉල්ලීමකි. “අයියෝ… බැරි  වුණානේ” තරමක් තරබාරු සරදාගේ උඩ පැනීම සාර්ථක නැත. “මචං, උඹ උස පනින්න චැමිපියන් නෙව. පැනපං බලං ඉන්නෙ නැතිව” සරදා විජේට කීවේය. “ඔව්..ඔව්.. විජේ මල්ලියෝ කඩලා දෙන්නකෝ” ඒ විණීතා අක්කාය. විජේ හැකි පමණ වෙර දමා දුවගෙන පැමිණ කකුල් අඩි දෙක එකටම පොළව මත ඉලිප්පවා දෙපා දණ හිසෙන් නැවී අත් දෙක ඉහළට ඔසවා ගුවනට ගියේ ඊතලයක වේගයයෙනි. “හා….යියෝ….හයියෝ දුවපල්ලා. මගේ අප්පෝ වෙච්ච දේ. අනේ අප්පෝ……..” සමහරු අත්දෙකින්ම මුහුණ වසාගෙනය. සමහර කෙල්ලන් පන්තියට දුවන ගමන්ය. තැපැල් මහතා කලබලය ඇසී මිදුලට එන විට විජේ බිමට වැටී අවසානය. සරදා සහ තවත් පිරිමි ළමුන් කීප දෙනෙකු විජේට උදව්වට ඔහු වටා සිටියෝය. සිදුවූයේ විජේ දණ නමා වේගයෙන් උඩට යන විට එතැන තිබූ උල් මුලක තමන් ඇඳන් සිටි සරම පටලැවීම නිසා විජේ උඩගියේ යට ඇඳුම සමගය.

වසර ඉතා වේගයෙන් ගතවූ අතර සාමාන්‍ය පෙළ විභාගයෙන් විනීතාට හිමිවූයේ ඉංග්‍රීසි විෂයට සම්මානයක් පමණි. ඇයට විශිෂ්ට සම්මානයක් හිමි නොවීම ගැන කවුරුත් පුදුම විය. ඊටත් වඩා කවුරුත් පුදුම වූයේ විජේ හා සරදා දෙපලටම සම්මාන ලැබීමය. පන්තියේ අන්තිම වන තෙක් ඉගැනුම ලැබූ දහ අටදෙනාම සම්මාන හෝ සමාර්ථ ලබා ගත්තේ තැපැල් මහතාගේ ඉගැන්වීමේ මැජික් බලයකින් විය හැක. පන්තිය අවසන් වුවද විනීතාගේ ගෙදර සතියට වතාවක් පාපැදිවලින් යාම විජේගේ හා සරදාගේ විනෝදාංශය විය. එහි යන සෑම දිනකම කෙසෙල් හා බිස්කට් ඔවුන් දෙදෙනාට වැරදුනේද නැත. තේ හදාගෙන එන්නට විනීතා කුස්සියට යන අතරතුර කෙසෙල් ඇවරියම කා දමා බිස්කට් සියල්ලම ඉවර කර දමුවත් ඇය මල්ලිලාට හිනා වුණා මිස කිසිවක් කීවේ නැත. නමුත් ඊළඟ දිනයේද ඇය ඔවුනට සැලකුවේ මහත් ලෙන්ගතු කමකිනි. උසස් පෙළ  සමත් වූ පසු විජේ හා සරදා ඈත පළාත්වලට රැකියා පතවීම් ලැබුණි. විනීතා එකල අලුතින් ආරම්භ වූ කාන්තා පොලිස් සේවයට එක්විය. 2005 වර්ෂයේ දිනක සරදා බොහෝ කලකට පසු විජේට හමුවිය. “මචං විනීතා දෙමළ පොලිස් නිලධාරියෙක් බැඳලා. අම්මා තාත්තලා විරුද්ධ වෙලා.” “ඉතිං…..ඉතිං ඊට පස්සෙ” “ඊට පස්සේ ජෝඩුව මාරුවක් අරං යාපනේ ගිහිල්ලා දැන් අතුරුදහන්ලු”

2009 වසරේ කොටි සංවිධානයයේ පොලිස්පති නඩේසන් හා බිරිඳ හමුදා වෙඩි පහරින් මරා දමා තිබුණි. එය තිස් වසරක යුද්ධයේ අවසාන සතියයි. ආදරය කොපමණ බලවත් වන්නට ඇත්දැයි විජේගේ සිතට දැනුනේ නඩේසන් විනීතාගේ සැමියා බව දැනගත් විටය. ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිහ ලියූ විශාරද ගුණදාස කපුගේ මියුරැ හඬින් ගායනා කළ

“සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිණිගත් තල් අරඹට ආවා දෝ ඉගිල්ලී”

ගීතය නිර්මාණය වුණේ ඇය වෙනුවෙනි.

ඇය බිඳ දැමුවේ ජාති, කුල මල, ආගම් භේදයෙන් සෑදුනු බර්ලින් තාප්පයක් යැයි රත්න ශ්‍රී පැවසුවේ පටු කෝණයකින් නොවේ. විනීතාද ඒවන විට කොටි සංවිධානයේ බලවත් අධිකාරියක් ලබා තිබුණු අතර ප්‍රදේශයේ දරුවන්ට ඉංග්‍රීසි, බුදුදහම හා සිංහල ඉගැන් වූ බවද ආරංචි විය. මාතර පළාතේ සමහර ඇය දන්නා ව්‍යාපාරික සිංහලයින් යාපනයේ දී අතරමං වූ අවස්ථාවලදී බේරී පලා ඒමට විවිධ උපදෙස්, ක්‍රම සලසා දී තිබුණු ආරංචිද ඒ අතර විය.

දයා ප්‍රතාපසිංහ
ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.