fbpx
10.5 C
New Zealand
Friday, September 13, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

බොරුකාරයා් | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අනිල්ගේ ගෙදර පවුල්ජීවිතය ඉරිතලා යන්නට සිදුවූයේ අහඹු සිදුවීමක් නිසාය. හදිසියේම  ඇති වූ  කරකැවිල්ල හා වමනය නිසා බිරිය සුනීතා, ඇය රෝහල් ගත කරනු ලැබුවාය. ඒ අතර අනිල් වෙත කඩිසර ගමනින් පැමිණි රොහල් හෙදිය කටපුරා සිනාසෙමින් සුබ පැතුවාය.

‘මිස්ට අනිල් අපේ සුබ පැතුම්!’

‘ආහ්! ස්..ස් තුතියි.’ අනිල් හිස සොලවා ඇයට පිළිතුරු දුන්නේය.

ඒ ගමන්ම, මෙය විය හැකි දැයි ඔහු කල්පනා කළේය.

පවුලේ ඛේදවාචකය ඇරඹුණේ ඉන්පසුවය. අනිල් සුළු දෙයටත් කෝපවූ  අතර ගෙදර බඩුමුට්ටු පවා පොළවේ ගසමින්  දිනපතා මත්පැනට ගොදුරු විය. බිරිඳ සුනීතාට දරුගැබක් තමන්ගෙන් ඇති වන්නට කිසිදු ක්‍රමයක් නැත. එබැවින් සුනීතා කෙරෙහි ඔහුට ඇතිවූයේ සැකයකි. සුනීතා කිසිවිටකත් තමන් වැරැද්දක් කළ බවට පිළිගත්තේ නැත. වාද විවාද අතර අනිල් යෝජනා කළේ දෙදෙනාගේම මිතුරියක් වූ එකළ දඹුල්ල ප්‍රදේශයේ සිටි ප්‍රසව හා නාරි දේහ විශේෂඥ සමන්මලී හමුවීමටය. ඔවුන් සියළුම පෞද්ගලික විස්තර තම වෛද්‍යවරියට හෙළි කළෝය.

‘හරි මට සිද්ධිය ගැන දෙපැත්තකින් බලන්න වෙනවා. දෙන්නටම හෙට හොස්පිටල් එකට උදෙන්ම එන්න වෙනවා.’ අවසන විශේෂඥ මිතුරිය කීවා ය.

වෛද්‍ය සමන්මලීට කාන්තාවන්ගේ මෙවැනි ගැටළු අලුත් දෙයක් නොවුණි. සමහර ගැටළු විසඳීමේදී කල්පනාකාරී විය යුතුව ඇතැයි ඇය විශ්වාස කළා ය. මිනිසෙකුගේ අතක් පයක් කැපීම පාපයක් වුවද රෝගියාගේ අත නොකපා ජීවිතය බේරා ගන්නට බැරිනම් බොරුවක් කියා හෝ රෝගියා කැමති කර ගත යුතුය. එය සත්භාවයෙන් කෙරෙන කටයුත්තක් මිස කාටවත් හානියක් සිදු නොවේ. එබැවින් ඒවා මුසාවාද හෝ මනුෂ්‍ය ඝාතන නොවන බව සමන්මලී විශ්වාස කළා ය. තම මිතුරාගේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර මේ වන විටත් ඇය දනී. නමුත් එම පිළිතුරින් වඩා ඛේදවාචකයක් නොවී සතුටුදායක ප්‍රතිඵලයක් ලබා දිය හැකි වඩාත්ම සුදුසු උපදෙස ගැන ඇය සිතා තිබුණි.

පසුදා උදය වන විටම අනිල් සහ සුනීතා දැඩි දෙගිඩියාවෙන් හා චකිතයයෙන් යුතුව පැමිණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණ කීපයකටම සහභාගි වූහ. ඒ අතර  අනිල්ගේ සිත නැවත අතීත සිදුවීම් වෙත ඇදී ගියේ නිරායාසයෙන්ය.

‘අනිල් මේ අහන්නකෝ, දරුවො තුන් දෙනෙක්ගේ රාජකාරි අහස උසට. ලොකු පුතා එක්ක දුවරු දෙන්නා ලොකු මහත් වුනාම මදෑ.’ සූනීතා සවස් වරුවක සුහදව තම දයාබර ස්වාමියාට රහසින් මිමිණුවාය.

‘ඒක ඇත්ත, හැබැයි ඉතිං අපිට වාසෙක්තමි සැත්කමක්වත් කරගන්න වෙයි නෙව?’ අනිල් ද එම අදහසට එකඟ විය. පෞද්ගලික රෝහලකින් අනිල් පමණක් වාසෙක්මි ශල්‍යකර්මයක් කර ගත්තේ ඊට සතියකට පසුවය.

අවුරුදු පහක් පමණ ගතවන විට කුඩා දරුවා නගරයේ පාසැලට ඇතුළත් වූ අතර එම පාසලේම ඉහළ පන්තිවල අනෙක් දරුවෝ දෙදෙනා ද ඉගෙන ගත්තෝය. දරුවන් වෙනුවෙන් වෙහෙසුණු සුනීතා රැකියාවකට ගියේ නැත. තම සැමියාට හා දරුවන්ට  යුතුකම් මැනවින් ඉටුකරමින් ඇය ආදර්ශවත් ගෘහණියක් වුවාය. සෑම දිනකම පාසැලට දරුවන් රැගෙන ගියේත් රැගෙන ආවේත් ඇයගේ කුඩා මෝටර් රථයෙනි. සමහර දිනවල දරුවන් පාසලින් රැගෙන ඒමට පැයකට දෙකකට වඩා කලින් පාසැලට යන ඇයට අනෙක් දෙමව්පියන් හමුවීම සතුටක් වීය.  සමහර දිනවල එවැනි දෙමව්පියන් කල්ලි ගැසී ගෙවූ ජීවිතය ඇයට ප්‍රීතිමත්ම දෙයක් වීය. කාලයක් යන විට මිතුරු හවුලට ලොල්වූ සුනීතා අතින් තම පවුලට සිදුවිය යුතු සමහර යුතුකම් පවා මගහැරී ගියේ කාලයත් සමග ඇයටමත් නොදැනුවත්වමවය. සුනීතාගේ වෙනස්කම්වලට හා සිදුවු අතපසුවීම්වලට අනිල් කෝපවූයේ නැත.

‘සුනීතාට දැන් ගෙදර වැඩ වැඩියි. තනියම කරගන්න අමාරුයි නෙව? අපි වැඩට කවුරුහරි ගැහැණු ළමයෙක් ගෙනෙමු.’ අනිල්ගේ එම යෝජනාවට සුනීතා ද එකඟ වූවාය.

සිරියා ඉතා රූමත් නැතත් කඩිසර ක්‍රියාශීලී මෙහහොරියක් වූවාය. ඇය ගෙදර ඉවුම් පිහුම් හා අස්පස් කිරීම් පිළිවෙළකට ලස්සනට සිදු කිරීම නිසා මෙම යුවළට ඇය නැතිව බැරි වීය. සිරියා නිවාඩුවට ගෙදර යනවිට අනිල්ට ද දෙපා නැමද යාමට අමතක කළේ නැත. දිනක් අනිල් එවැනි අවස්ථාවක ලස්සන කරාබු ජෝඩුවක් ඇයගේ අත මිට මොලවා දෙන හැටි අහම්බෙන් සුනීතාගේ උකුසු ඇසට හසු වීය. සුනීතා පසුදිනක ඒ ගැන විමසන විට අනිල් කිසිදු අමුත්තක් ඇයට පෙන්නුවේ නැත.

‘මම ඔයාගේ උපන් දිනේට හෙට දෙන්න ලස්සන කරාබු ජෝඩුවක් හැදුවා ඔයාට හොරෙන්. ඒ ගමන් කැරට් දොළහෙ පුංචි කරාබුවක් සිරියටත් හැදුවා. ඒ කෙල්ල දුප්පත් අහිංසක ළමයෙක්. කණේ කරාබුවක්වත් නෑනේ. ඒත් ඔයාට හෙට තෑග්ග දෙන ගමන් ඒක කියන්න තමයි හිටියේ. සර්ප්‍රයිස්නේ එතකොට.’ අනිල් කලබලයක් නැතිව කළ පැහැදිලි කිරීමෙන් සුනීතා නිහඬ වූවාය.

ඊට පසුවත් සිරියා හා අනිල් අතර සිදුවන දේ ගැන සුනීතාගේ උකුසු ඇස යොමු වූයේ යටි සිතේ මුල් බැස ගත් සැකයක බීජයක් නිසාවෙනි. වරින්වර පවුලේ සුළු සුළු අමනාපකම් සිදුවුණ ද සිරියා ගෙදරින් යැවීමට තරම් ඒවා ප්‍රබල වූයේ නැත. සුනීතාද තම කාලය ගෙදරින් බැහැරව තම හිත මිතුරන් සමග ඕනෑවටත් වඩා විනෝද වීමටත් ඇසුරු කිරීමටත් ලැබීම නිසා සිරියා ගෙදරින් යැවීමට ඇය කොහොමත් අකමැති වූවාය.

‘ආහ් එන්න එන්න දෙන්නම ඇතුළට, වාඩිවෙන්න. මම මේ ඔක්කොම රිපෝට් කියවලා ඉවර වුණා විතරයි. ‘Very good news for you.’ සිනහමුසු මුහුණින් වෛද්‍යවරිය එසේ කියන විට අනිල් තම පැරණි ආවර්ජනයෙන් අවදි විය. සුනීතාගේ මුහුණ වෙනස් වුවද ඇය ඒ බව නොපෙන්නුවාය.

‘වාසෙක්තමී ශල්‍යකර්ම සියල්ලම හරියටම සාර්ථක වන්නේ නැහැ. ලෝකයේ ඕන තරම් සිදුවීම් තිබෙනවා. ලංකාවේත් එහෙම සිදුවීම් අපට වාර්තා වුණා. අනිල්ගේ සැත්කමත් ඒ වගේ බොහොම කලාතුරකින් අසාර්ථක වූ එකක්. ඒනිසා අනිල්ගේ සැකය පොඩ්ඩක්වත් තියා ගන්නෙ නැතිව ඉස්සර හිටියා වගේ සතුටින් පවුල් කන්න.’ වෛද්‍ය සමන්මලී විස්තර කරන විට සුනීතා දිග සුසුමකින් තම ළය සැහැල්ලු කර ගත්තාය.

අනිල් දිග සුසුමකින් ළය සැහැල්ලූ කර ගත්තේය. මෙතෙක් කල් සිරියා ගැබ් නොගත්තේ එක්කෝ ඇයගේ වඳ බව නිසා වෙන්නට ඇතැයි සිතමිණි. නමුත් තම බිරිඳ ගැබ් ගැනීම ගැන දෙවියන්ට ස්තුති වන්ත විය.

සමන්මලී ද දිග හුස්මක් ගෙන අවසානයේ තම ළය සැහැල්ලූ කරගත්තේ තමන් කළ බොරුව නිසා දරු පවුලක සාමය තහවුරු වූ බැවිණි. නමුත් තමන් සත්භාවයෙන් කළ වරදට වන්දි ලෙස සුනීතාට සත්‍යය පවසා තරවටුවක් කර ඇය යහමගට ගන්නට ඇය තීරණය කළාය.

දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.