මෙතෙක් කතාව
බ්‍රයන්, ජැකා, කස්සා සහ ටොම්බා කොළඹ හැටේවත්තේ පදිංචි කොලු ගැටයන් ය. ගෙන්දගම් පොළොවේ පය ගසා විවිධ දුක් ගැහැට විඳිමින් ජීවත් වන ඔවුන් වැඩිහිටියන් අනුකරණය කරමින් තම ගැන්සිය වූ ‘උකුසු ගැන්සිය’ පිහිටුවා ගනී. දුම්පානයට හා ගංජා බොන්න පුරුදු වෙන ඔවුන් කුලියට රණ්ඩු සරුවල්වල පැටලෙති. කිසිදා සොරකම් නොකරන ලෙසත් කුඩු නොබොන ලෙසත් බ්‍රයන්ගේ මව ඔහුට අවවාද කරයි. එතැන් සිට …
මෙම පාසලේ විභාගය සමත් වෙන්නේ සියයට විසි පහකි. කොළඹ නගරයේම තියෙන මෙහි තත්ත්වය මෙසේ වුණද නිලධාරින්ට මෙය පෙනුනේ නැත. පෙනුනත් ඔවුන්ට කළ හැකි කිසිවක් නැත. මෙසේ හෝ සමත් වෙන්නේ ගුරුවරුන් කීපදෙනෙක් යොදන ධෛර්යය හේතුවෙනි. බහුතරයක් දෙමාපියන්ට තම දරුවන් විභාගය සමත් වෙනවා ද නැද්ද යන්න ගැන වගේ වගක් නැත. ගුරු දෙගුරු සමිතියට එන්නේ ඉතා සීමිත දෙමව්පියන් පිරිසකි. බොහෝ තාත්තලා කුඩු, කසිප්පු, ගංජා බොති. සමහරු සිරගෙවල්වල ය. නැත්නම් පොලිස් කූඩුවේය. නිවෙස්වල දිනපතා අඩදඹරය. මෙවැනි පරිසරයක සිට එන දරුවන්ට ඉගැන්වීම යනු ගුරුවරුන්ට රිස්ස යන දෙයකි. ගුරුවරු ඉගැන්වීම අතහැර වෙන වෙන වැඩ කරති. දරුවෙකුට දඬුවමක් දුන්නොත් මව හෝ පියා පාසලට එන්නේ රෙද්ද උස්ස ගෙනය. එම නිසා විදුහල්පති වුණත් දරුවෙකුට දඬුවමක් දෙන්නේ දෙවරක් සිතා ය. දරුවන්ට ආදර කරුණාවෙන් කතා කරන ගුරුවරු අල්පය.
ටික දවසකට පසු ගැන්සිය මුණගැසුනේ නාරාහේන්පිට දුම්රිය ස්ටේෂම ළඟය.
‘ඒයි මොනවද බං අපි දැන් කරන්නේ ? ඉස්කෝලේ යන්නේ නැති හින්දා වැඩත් අඩුයි. අතේ සල්ලිත් නෑ’ කස්සා ඔළුව කසමින් කීය.
‘අපේ තාත්තා කිව්වා මට වරායෙ රස්සාවක් හොයලා දෙන්න බලන්නං කියලා’ ජැකා කීය. බ්‍රයන් කිසිත් නොකියා රේල් පාර දෙස බලා ගෙන සිටී.
‘අනිත් එවුන් එක එක මරිසි වැඩවලට සෙට් වෙලා. ඒත් අපි ඒවා කරන්නෙ නෑනෙ නේද බං ?’ ටොම්බා කීවේ බලාපොරොත්තු දල්වා ගත් දෑසිනි. ඔහු කියන්න දේ තේරුම් ගත් බ්‍රයන් නිහඬ ය.
‘වරෙන්’ කියා ඔහු එක්වරම නැගිට්ටේය.
‘මට මාටින් මාමා කීව දෙයක් මතක් වුණා. යමං’ ඔවුන් ගියේ ගොල්ෆ් ක්ලබ් එක දෙසටය. මේ පැත්ත ඔවුන්ට හුරු පුරුදුය. ගේට්ටුවෙන් ඇතුල් වූ ඔවුන් පිටිය අසලටම ගියේ නියම ගැන්සි විලාසයෙනි.
‘අන්කල්, මොනවත් වැඩ එහෙම නැද්ද ? අපි හැටේවත්තේ. මාටින් මාමා කිව්වේ මෙහෙ වැඩ තියෙයි කියලා ’ මේනක ඇහුවේ ගොල්ෆ් පිටියේ සේවකයෙකුගෙනි. ඔවුන්ව දැක්ක මුරකරුවා නවත්වන්ට ගියේ නැත. එසේ කළා නම් අම්බානකට කන්න වෙන බව ඔහු දනී. මේ පැතිවල ඉන්න වසවර්ති මාරයන්ව ඔහු හඳුනයි.
‘ආ..එහෙමද ? මොනවද ඉලංදාරින්ට පුළුවන්?’ සේවකයා මොවුන් දෙස හෙලූ එක බැල්මෙන්ම ඔවුන් මොන වගේ අයදැයි දැන ගත්තේය.
‘ඕන වැඩක් පුළුවන්. අපි හොරකම් කරන්නේ නෑ, කුඩු ගහන්නේ නෑ. අනිත් ඕන වැඩක් කරනවා’ බ්‍රයන් උදාර ලීලාවෙන් කීය. ඔහුගේ පෙනුම අවුරුදු විස්සක විතර ඇට්ටර ගතියකි. කෙට්ටු වුණත් උසය. ඔහු දෙස බැලූ සේවකයා,‘ඔහොම ඉන්නවා’ කියා ක්ලබ් එක පැත්තට ගියේය.
උකුසු ගැන්සිය නැව්මෙන් විශාල කාර් ඇවිත් යන හැටිත් ඒවායෙන් නගින බහින පුෂ්ටිමත් ගෑනු පිරිමි දෙසත් කාර්පාක් එකේ හිඳිමින් බලා සිටියහ. ක්ලබ් එක දෙසින් හමන්නේ බඩ කලම්බන කෑම සුවඳයි. ඒවා මොනවා දැයි ඔවුන්ට සිතා ගත නොහැකිය. අල හොද්දේ, පරිප්පු හොද්දේ සුවඳ ඔවුන් හඳුනති.
‘අම්මට සිරි ගජ. මෙතන වෙනම ලෝකයක්නෙ බං. මට නං බයත් හිතෙනවා බං ’ කස්සා කීය. ඔවුන් මේ අවට කොතෙක් කරක් ගසා තිබුණත් මේක ඇතුලට එන්නට තරම් ගටක් ඔවුන්ට තිබුනේම නැත. මේ ගැන වැඩිහිටියන් කතා කරනු අසා ඇත. මේ ක්‍රීඩාව කුමක්දැයි ඔවුන් ඈත සිට බලා සිට ඇත.
‘එනවා’ සේවකයා කතා කළේය. ඔවුන් ඔහු පස්සේ වැටුනේ ප්‍රීති ප්‍රමෝදයෙනි.
‘හෝව්. මේ.. මේ.. එක්කෙනෙක් ආවම ඇති’ සේවකයා අනවශ්‍ය ලෙස පාට් දමන බව පෙනුණු බ්‍රයන්,
‘අන්ක…ල් අපි එක ගැන්සියේ. ගිහිල්ලා බලන්නම්’ බ්‍රයන් සැලෙන්නේ නැතුව කීය. ඔහුගේ චිත්ත ශක්තිය ගැන ගැන්සියට ආඩම්බර සිතුනි. සේවකයා කතා නැතුව බිල්ඩිම තුළට ඇතුල් වී විශාල කොරිඩෝවක් දිගේ ගොස් කාමරයක් අසල නැවතුනි. ඔහු දොරට තට්ටු කර ඇතුල් වෙද්දී ගැන්සියම කාමරයට රිංගා ගත්හ. මේසය අසල වාඩි වී සිටි ටයි පටි පැළඳි මහත්තයා පුදුමයට පත්වුණත් ‘ආ මොකද මේ ළමයි?’ කියා ඇසුවේ සිනාවක් පාමිනි. ඔහුගේ තිබුණේ පොඩි දරුවෙකුගේ මෙන් පෙනුමකි. ඔහු හතරදෙනා දෙසම වරින්වර බලයි. බැල්ම කස්සා අසල නැවතෙයි.
‘සර් අපි ආවේ මොනවත් වැඩ තියෙයිද බලන්න?’ බ්‍රයන්ගේ හඬ වයසට වඩා ගොරෝසුය.
‘ම්… වැඩ නේද ? මොනවද ඔයාලට පුළුවන් ? තාම පොඩි ඈයො නේද ?’ ඔහු ඇස් කරකවමින් බලන විදිය බ්‍රයන්ට ඇල්ලුවේ නැත. වල් මිනිසුන් දැක ඇති බ්‍රයන් මේකා වැනි එවුන් ගැන අසා ඇත.
‘අපි පොඩි නෑ . අපිට දැන් දහාටක්. අපිට ඕන වැඩක් කරන්න පුළුවන්’ බ්‍රරයන්ට මෙතරම් ගැම්මක් ආවේ කොහෙන්ද කියා ජැකාට සිතුනි. පාසලේ ගුරුවරු ද ඔහුට සැලකීමක් කරති.
‘ම්… වෙරි ගුඩ් , ටෙල් මී යුවර් නේම්’ හොම් ඉංග්‍රීසියෙන් කීය. බ්‍රයන් ඉංග්‍රීසියෙන්ම උත්තර දෙමින් සියලු දෙනාවම හඳුන්වා දුන්නේය. හොම් මහතා හිස සලමින් කල්පනා කරයි.
‘අයි ලයික් යූ ඕල් ඩාලිං. බට්…. මට හතර දෙනාටම එක පාරට දෙන්න වැඩ නෑ. එක්කෙනෙකුට මොකක් හරි දෙන්නම්’ ඔහු කසුන් දෙස වැඩි ආසා වෙන් බලනු පෙනේ. කස්සා ගැන්සියේ ඇඟ පතින් පොඩිම එකා ය. ඌට හුරතල් පෙනුමක් ඇත. හිටුකො, බ්‍රයන් දත් මිටි කයි .
මතු සම්බන්ධයි….
පන්තක භාතිය සිරිවර්ධන – ශ්‍රී ලංකාව