විජය උසස් පොලිස් නිලධාරියෙකි. තමන්ගේ රාජකාරි බල ප්‍රදේශයට අයත් වන පළාතේ දිස්ත්‍රික්ක කීපයේම පන්සල්, පල්ලි සමග ළඟ ඇසුරක් ඔහුට තිබුණි. එයට එක් හේතුවක් වන්නේ ගම්වල සිදුවන ගංජා, කසිප්පු, හොර මැරකම් ගැන කණගාටුවට පත්වන ආගමික නායකයින් වරින්වර පැමිණ විජය හමුවීමය. එබැවින් ප්‍රාදේශීය පොලීසිය සමග ගම් මට්ටමින් එම දුෂ්චරිතවල පලවිපාක ගැන ජනතාව දැනුවත් කිරීමට පන්සල, පල්ලි, පාසැල අත්වැල් බැඳ ගැනුණි. ජීවත් වීමට මගක් නැති අන්ත අසරණයින් හිරේ යවනවාට වඩා ඔවුන්ට වෙනත් රැකියා හා ආදායම් මාර්ග සැලසීමට විජය ප්‍රිය කළේය.
පළාතේ ආගමික, අධිකරණ, දිසාපති, පාසැල් ප්‍රධානින් සහ පොලිස් බලධාරීන් අතර සුහද හමුවක් සෙනසුරාදා දිනක සංවිධානය විය. එම සුහද හමුව සංවිධානය කර තිබුණේ විජයගේ මඟ පෙන්වීම යටතේය. හමුව අවසානයේ කදිම යෝජනාවක් ඉදිරිපත් විය. එනම් සෑම බල ප්‍රදේශයක් සඳහා එක් එක් ආයතනවලින් නියෝජිතයකු සමන්විත කමිටුවක් පිහිටු වීමය.
විජය, ඒ වන විටත් දුෂ්කරව ජීවත් වූ මව්පිය සෙනෙහස අහිමි දරුවන් වෙනුවෙන් ‘කැපකරු පුහුණු මධ්‍යස්ථානයක්’ ගැන සුහද හමුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණි. ලංකාවේ සුප්‍රසිද්ධ විශ්‍රාමලත් අගවිනිසුරුවරයෙකුට අයත් වලව්ව සමග එම දේපල අනාථ ළමුන් සියදෙනෙකු සඳහා යොදා ගැනීමට කැමැත්තත් එම කැපකරු සත්කාරය වෙනුවෙන් පළාතේ දානපති වතුහිමි හා ව්‍යාපාරිකයින් සියදෙනෙකු කැමැත්තත් ඔහු ලබා තිබුණි.
ඒ අනුව දෙමව්පියන් අහිමි වූ අනාථ දරුවන්ට නේවාසික පුහුණු ආයතනයක් අහංගම පිහිටි වලව්වේ බිහි විය.
දේශපාලනයෙන් තොර මෙම සුහද හමුව තුළින් පත්කර ගත් දිස්ත්‍රික් කමිටුවලට සංවිධානයේ බලතල පැවරීය.
තම බල ප්‍රදේශය තුළ ගංවතුර ව්‍යවසන සිදුවන විට මෙන්ම දුප්පත් ගම්වල පවුල්වලට වහලට ටකරං, පාසැල් දරුවන්ට ඇඳුම්, ආහාර ලබාදීම වැනි කටයුතු ද පොලීසි හා දිස්ත්‍රික් කමිටු මගින් දිගටම සිදු විය.
පළාතේ දේශපාලන බලවතුන්ට විජය ගැන සැකයක් ඇති විය. ඔහු තම රාජකාරී බල ප්‍රදේශවල මෙම සමාජ සේවා කටයුතු කරමින් කරන්නේ රජයට විරුද්ධ දේශපාලන පක්ෂයකින් ඊළඟ මැතිවරණයට ඒමට අවශ්‍ය පාර කැපීමක් බවට චෝදනා නැගුනි. එම දේශපාලකයින් අවසානයේ විජයට විරුද්ධව ලංකාවේ නිසි බලධාරීන්ට චෝදනාවක් ඉදිරිපත් කළේ නිල බලයෙන් දේශපාලනය කිරීමට එරෙහිව දඬුවම් කළ යුතු බවට බල කරමිනි.
කොළඹ කාර්යාලයෙන් විජයට එරෙහි චෝදනා වෙනුවෙන් ඉදිරිපත්වන ලෙසට ඇමතුමක් ලැබිණ. තමන් සත්භාවයෙන් කළ කී දේ ගැනත් තමන්ට ලැබෙන අපවාද ගැනත් කලකිරීමක් ඇති වුවද බොරු කීමට විජයගේ සිත බල කළේ නැත.
‘විජය මොනවද කරන රාජකාරි? කසිප්පු කාරයො හිරේ දානවා වෙනුවට රස්සාවල් හොයල දෙනවා. ඒවට වෙන අමාත්‍යාංශ තියෙනවා… නෙහ්…’ බලවතා කතා කළේ අමනාපයෙනි.
‘ඔව් සර්. මම හිතන්නේ කසිප්පු පෙරනකං ඉඳලා අල්ලනවට වඩා ඊට පෙර ඔවුන් දැනුවත් කරලා ඔවුන්ට ජීවත්වෙන ක්‍රමයක් හොයල දෙන එක හොඳයි කියල. පොලීසිය කරන්නේ කසිප්පු පෙරීම වළක්වන එකයි. සර් එහෙම කියලා කසිප්පු පොළවල් වටලලා නඩු දාන එක අපි නවත්තලාම නැහැ.’ විජය සන්සුන්ව තම මතය ඉදිරිපත් කළේය.
‘එතකොට ටකරං, රෙදි පිළි, පොත්පත් බෙදා දෙන්නේ? ඒවටත් වෙන ආයතන තියෙනවානේ. පන්සල්, පල්ලි, වෙහෙර, විහාර හදන එකත් පොලීසියට අයිති වැඩ කියල ද ඔබ හිතන් ඉන්නේ. මට ලැබිලා තියෙන තොරතුරුවල හැටියට විජය ඔය කරන දේශපාලනය ලොකු වැරැද්දක්. හොඳයි කියමු බලන්න ඒවට නිදහසට කරුණු.’ බලවතා ටිකක් සැරවිය.
‘සර් පන්සල්වලට උදව් කරන එකට, දුප්පත් ළමුන්ට පොත්පත් නොමිලේ දෙන එකට, දුප්පත් මිනිහෙකුට කන්න යමක් දෙන එකට, වහලයක් නැති පවුලකට ටකරමක් දෙන්න කැමති දාන පතියන්ගෙන් එකතු කරලා දෙන එකට, අම්මා අප්පා දෙන්නම නැති දරුවන්ට ඇප කැප වෙන එකට දේශපාලනය කියලා කියනවනං සර්, මම කළේ දේශපාලනය තමයි.’ විජේ හැඟුම් බරව එක දිගටම කියවා දැමීය.
මඳ කල්පනාවක නිරතවූ බලවතා ගේ මුවගට මඳ සිනහවක් නැගුණි.’ඒකත් හරි තමයි විජේ. ඔය චෝදනා කරන දේශපාලකයින් ඔය කියන දේශපාලනයවත් කරන්නේ නැති එකනේ වැරැද්ද? පොලීසිය කියන්නේ හොරු, අපරාධකාරයෝ අල්ලන එක විතරක්ම නෙවෙයි ඒවා වළක්වන්න ජනතාව එක්ක එකතුවෙන එකත් පොලීසියේ වැඩක්.’ උසස් නිලධාරියා විජයගේ උරහිසට තට්ටු කරමින් කීවේය.
දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්