විවාහ වී වැඩි කල් නොගොස් සිටි තරුණ යුවලක් ගම්පළාතේ කුඩා දුම්රිය ස්ථානයක වේදිකාවේ ඉහළට පහළට ඇවිදිමින් සිටියහ. ඔහුගේ අත ඇගේ ඉණ වටා ද ඇයගේ හිස ඔහුගේ උරහිසට සමීපවන්නට ද වන ලෙස සිටි දෙදෙනාම සිටියේ ප්‍රීතියෙනි.
පාවෙන වළාකැටි අතරින් එබිකම් කළ සඳ වෙහෙසට පත්ව සිටි ඇයගේ තාරුණ්‍යයටත් දෙදෙනාගේ සතුටටත් ඊර්ෂ්‍යා කරමින් සිටියා වැනිය. නිසල වාතය ලැවෙන්ඩර් සහ වල් චෙරි සුවඳින් බර විය. රේල්පාර ඔබ්බේ කොහේදෝ ඈතින් කොරවක්කෙක් කෑගසමින් සිටියේය.
‘කොච්චර ෂෝක් ද සාෂා, කොච්චර ලස්සනද!’ තරුණ බිරිඳ මිමිණූවා ය. ‘ඔක්කොම හරියට හීනයක් වගේ. බලන්න මේ පුංචි ලඳු කෑල්ලට කොච්චර හිත යනවද? අර හයිහත්තියට තියන ටෙලිෆෝන් කනු කොච්චර පෙනුමද . වටපිටාව ගැන, මිනිස්සුන්ගෙ දියුණුව ගැන මේ ඈතට වුණත් පණිවිඩයක් දෙනවා. සද්දෙට කෝච්චියෙන් හුළඟ හමලා එනකොට මාර සුන්දරයි කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?’
‘ඇත්ත . . . ඒත් කොච්චර රත්වෙච්ච අත්පොඩියක්ද ඔයාට තියෙන්නෙ? මොකද දන්නවද වර්යා, ඔයා කලබල වෙලා. අපට රෑට කන්න මොනවද තියෙන්නේ?’
‘කුකුල් මසුයි, සලාදයි. දෙන්නට ඇති. ආයෙ ටවුමෙන් එවාපු සැමනුයි සාඩිනුයිත් තියනවා.’
සඳ දුම්රොටුවක් ඇදගත්තා මෙන් මුහුණ වළාකුලේ සඟවා ගත්තා ය. මිනිස්සුන්ගේ සතුට කඳු වැටියෙන් හා නිම්නයෙන් එපිට වූ ඇයගේ යහන ඇයට සිහිපත් කළා වැනිය.
‘කෝච්චිය එනවා.’ වර්යා කීවාය. ‘හරි සන්තෝසයි.’
සැර එළි තුනක් ඈතින් පෙනෙන්නට වීය. දුම්රිය ස්ථානාධිපතිවරයා වේදිකාවෙන් එළියට ආවේය. කෝච්චි පාරේ එහෙන් මෙහෙන් සිග්නල් ලයිට් දැල්වුණේය.
‘අපි කෝච්චි ඇතුළෙත් බලලා ගෙදර යමු.’ සාෂා ඈනුමක් හරිමින් කීවේ ය. ‘එකාතකට අපි ගත කරන්නෙ කොච්චර හොඳ කාලයක් ද වර්යා. හරි අපූරුයි, විශ්වාස කරන්නත් බෑ!’
වේදිකාව දිගේ ආ රකුස් අන්ධකාරය නිහඬව නිදා ගත්තේ ය. නිදිමත ගැහුණ මුහුණු වගයක්, තොප්පි හා උරහිස් ටිකක් අඳුරේ වූ ජනේලවලින් පෙනෙන්නට තිබුණේය.
‘ආන්! ආන්!’ එක කෝච්චි පෙට්ටියකින් ඇහුනේය. ‘වර්යයි සාෂා. අපි හම්බවෙන්න ඇවිල්ලා. අර අර ඒ දෙන්නා. වර්යා … වර්යා… මේ මේ.’
කුඩා ගැහැනු ළමයි දෙන්නෙක් දුම්රියෙන් පැන ඇවිත් වර්යාගේ ගෙලෙහි එල්ලුණෝය.
ඒ පසුපසින් තරබාරු මැදිවියේ කාන්තාවක් සහ අළු රැවුලක් තිබූ උස අගපය මයිල් පිරුණ මහත්මයෙක් විය. ඊටත් පිටිපස්සෙන් බෑග් උස්සා එන පාසල් සිසුන් දෙදෙනෙක්, ආයා කෙනෙක්, සහ ආච්චිඅම්මා කෙනෙක් වූහ.
‘පුතා අපි ආවා.’ රැවුල්කාර මහත්මයා සාෂාගේ අත මිරිකමින් කතාව පටන් ගත්තේය. ‘මම හිතනවා අපි එනකල් බලා ඉඳලා එපා වෙන්න ඇති කියලා. ඔයාගේ මේ වයසක මාමා මෙච්චර කාලයක් නෑවිත් ඉන්න එක ගැන කල්පනා කරන්න ඇති. කොල්යා, කෝස්ට්යා, නීනා, ෆීෆා. ළමයිනේ! ඔය ගොල්ලන්ගෙ මස්සිනාට හාද්දක් දෙන්න. අපි ඔක්කෝම මෙතන. මුළු බැටෑලියන් එකම දවස් තුන හතරකට හරි. මම හිතනවා අපි කට්ටිය ඔය ගොල්ලන්ට වැඩි නෑ කියලා. අපිව එළියට හෙම දාන්න නං එපා!’
මාමා දුටු තරුණ ජෝඩුව බයෙන් බිරාන්ත වී ගියහ. ඔහු කතා කර කර ඔවුන් සිපගනිද්දී සාෂාට තම කුඩා ගේ ගැන සිහිපත් වීය. වර්යා හා ඔහු තම කුඩා කාමර තුන, සියලුම කොට්ට මෙට්ට, ඇඳ ඇතිරිලි දමන හැටි. සැමන්, සාඩින්, කුකුල් මස් එකවරම කම්මුතු වන හැටි. නෑනලා පුංචි ගෙවත්තේ මල් කඩා ගන්නා හැටි, ගේ පුරා තීන්ත ඉහිරවන හැටි, ගේ පුංච කරච්චලයෙන්, කාලගෝට්ටියෙන් පුරවන හැටි, ලෙඩ දුක් ගැනත් ඇගේ පප්පාගේ බාරොන් වොන් ෆින්ටිච් පරම්පරාව ගැනත් නැන්දම්මාගෙ තොරතෝංචියක් කන්දොස්කිරියාවත්.
‘ඒ ගොල්ලො ඇවිත් තියෙන්නෙ ඔයා බලන්න. නොදකින්.’ සාෂා කලකිරීමෙන් යුතුව තම තරුණ බිරිය දෙස බලා කෙඳුරුවේය.
‘නෑ. ඔයා බලන්න.’ වර්යා කේන්තියෙන් සුදුමැලිවෙමින් උත්තර දුන්නාය. ‘ඒ ගොල්ලො ඔයාගෙ නෑදෑයො. මගෙ නෙවි,’ යි කියමින් ඇය අමුත්තන් දෙසට හැරී බැලුවාය. ‘සන්තෝසෙන් පිළිගන්නවා අපේ පුංචි පැලට.’
සඳ නැවත එළිපෙහෙළියට ආවාය. තමාට නැදෑයින් නැතුවා වගේ ඈ හිනා වුණාය.
සාෂා අනපේක්ෂිත හිරිහැරය නිසා කේන්ති ගැන්වුණ මුහුණ සඟවා ගනිමින්, ‘ඔයාලා ගැන කොච්චර සන්තෝසයක්ද? අපේ පුංචි පැලට සාදරයෙන් පිළිගන්නවා.’ කීවේය.
-ඇන්ටන් චෙකොව් – (පරිවර්තනය- ශ්‍රී ලංකන්ස්)
සටහන-
මෙය වචන 530 කට ආසන්න කුඩා කතාවකි.
පාදක වන කතා වස්තුව ඉතා සරල අපගේ සාමාන්‍ය ජීවිතයේ සිදුවීමකි.
ප්‍රධාන චරිත දෙක වූ අළුත විවාහ වූ තරුණ ජෝඩුවකි.
ක්ෂණික සිදුවීම අමුත්තන්ගේ පැමිණීමය.
අළුත විවාහ වූ යුවලක් නිසා ගේ දොර අඩුපාඩු ඇත.
එයට මුහුණ දීමට සිත සදා ගැනීම අවසාන යයි.
කතුවරයා යුවල ගැන සානුකම්පිතව බලයි. ඒ ඔහුගේ දැක්මය.
මෙවැනි සරල ‘කෙටි කෙටි කතා’ (flash) ලියා අප වෙත එවන මෙන් ඉල්ලා සිටිමු.