වයිකාතෝ හැමිල්ටන් බෞද්ධ විහාරයේ පොසොන් පෝදා වැඩසටහන මෙම ජූනි මස 22 දින උදෑසන අටේ සිට දවස පුරාම පැවැත්වින.
පසිඳුරන් භාවිතය
පිරිස් අටසිල්හි පිහිට වූ විහාරාධිපති පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන්වහන්සේ තම ධර්ම දේශනයේ දී ගිහියෙකු, සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමේදී පසිඳුරන් භාවිතය බුදුදහමේ අනුදැන ඇති බව පැවසූහ. වඩාත් වැදගත් වන්නේ එක ඉසව්වකට බර නොවී ලෞකික හා අධ්‍යාත්මික පැති වඩාත් තුලනාත්මකව ගෙනයාම යැයිද උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දුන්හ.
බුදුන් දැකීම
අප ආගමික මධ්‍යස්ථානවල දක්නට ඇති පරිදි ප්‍රතිමා හා සිතුවම් සිතෙහි දරා ගෙන හා පළපුරුද්දෙන් බුදු රදුන්ගේ ස්වභාවය මවා ගන්නා බවත් චීන, බුරුම හෝ තායි ජාතිකයන් එම පිළබිඹුවම තවත් ආකාරයකට මවා ගන්නා බවත් සැලකර සිටියහ. බෞද්ධ සාහිත්‍යයේ එන පරිදි බුදුන් වහන්සේ නොදැක සිටි පුක්කුසාති රජතුමා හා ද්‍රෝණි බ්‍රාහ්මණයා පසුව ධර්මය වටහා ගනිමින් උන්වහන්සේ අඳුනාගත් බවත් අප ද බුදුන් වහන්සේ අඳුනා ගත යුත්තේ එයාකාරයෙන්ම ධර්මයෙන් බවත් පූජ්‍ය මෙත්තෙයිය ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්හ.
සම්මා ආජීව තෙක්…
ඕස්‌ට්‍රේලියාවේ සිට වැඩම කළ පූජ්‍ය කාරුණිකා මෙහෙණින් වහන්සේ සම්මා ආජීව තෙක් බද්ධ පර්යංකයෙන් නොසිටම සාමාන්‍ය ජීවිතයේ දී ගිහියෙකුට අරිඅටඟි මග අනුව කටයතු කළ හැකි බව පෙන්වා දුන්හ. වඩාත් ප්‍රායෝගික මට්ටමින් කරනු ලැබූ එම දේශනාව ගැඹුරු විෂයයක් සරලව හා ඇතැම් විටක හාස්‍යය ද සහිතව ඉදිරිපත් කිරීමක් බවට, සහභාගි වූ අය අදහස පළ කළහ.
සම්මා වායාමය
මේ ඇතැම් විස්තරයක් අප වටහාගත් ආකාරයයි.
පන්සලක දානයක් භාරගන්නා දායකයෙක් නිවසේ සාමාජිකයන් හා එකතුව දානය පිළියෙල කරයි. අතපසු වීමකින් බත රොස්වෙයි. ව්‍යාංජනවල අඩුපාඩු ඇතිවෙයි. සියල්ල නිසා වන පමාව මැද වාහනයේ දෝෂයක් ද මතුවෙයි. කතා කරගත් කුලී රථය හා බහින්බස්වෙයි. අවසන කේන්තියෙන් අවුල් වූ ගිය හිතෙන් ලෝකයටම දොස් කියමින් තරමක් ප්‍රමාද ද වී දානය ගෙනවිත් භාරදෙයි. ඔහු කළේ කුමක්ද? මානසික ව්‍යාකූලතවය එකතු කළා පමණි.
තවත් තැනක දවසේ වැඩකර තදින්ම මහන්සි වූ පුද්ගලයෙක් කිසිම හේතුවක් නිසා තමනට බාධා නොකරන මෙන් බිරියගෙන් ඉල්ලා සිටිමින් නින්දට යයි. එහෙත් මැදියම ගෙවී යද්දී නොදුරක සිටින තම හිතවතෙකුට (ගේ ගිනි ගැනීම වැනි) විශාල කරදරයක් වී ඇති බවට පණිවිඩය ලැබේ. වහා නැගිට ගත් ඔහු බිරිය ද සමග දුව ගොස් පහන් වන තුරුම එම කරදරයේ විනාශය අඩු කරගැනීමට මිතුරාට උදව් කර ආපසු පැමිණ නිදා ගනී. ඔහුගේ සිත පහන්ය. ඔහු කළේ කුමක්ද? මානසික ප්‍රබෝධය එකතු කළේය.
බෞද්ධයෙකුගේ අරමුණ කරා යන යහපත් මානසිකත්වයකින් කටයුතු කිරීම සාමාන්‍ය ජීවිතයේ ‘සම්මා වායාමයට’ යන පාරකි.
– – –
දශක කිහිපයකට පෙර සිදු වූ මෙවැනි සිදුවීමක සටහනක් මෙසේය. ඒ දෙමටගොඩ සිරිසරණාරාමයේ ප්‍රධාන දානමය පිංකමක් ගැනය. දායක රැස්වීමක දී පිංකම වෙනුවෙන් භාණ්ඩ හා කාර්යයන්ට ඒ ඒ දායකයෝ ඉදිරිපත් වූහ.
‘මගෙ ගානෙ මාළු. තොටළග අළුත්ම බඩු.’ මාළු අලෙවි සලේ පැට්‍රික් මුදලාලි ඉදිරිපත් වීය. ‘බඩු දෙන්නම්. හැබැයි උයාගන්න ඔනැ.’
‘උයන්න බාරදෙන්න පුළුවන්. මාළු වගෙ ඒව ඉස්සෙල්ල දවසෙවත් ලැබෙන්න ඔනැ.’ සංවිධායකයෙක් කීවේය.
‘මස්?’ මාර්කට් එකේ ව්‍යාපාරික ප්‍රැන්සිස් ප්‍රනාන්දු මුදලාලි මහතා ඉදිරිපත් වීය. ‘මස් මං ගානෙ. එවන්නකො ජා-ඇල අපේ අහට දානෙ දාට ඉස්සෙල්ලා දවසෙ කවුරු හරි. උයා පිහාගන්න එකත් කාට හරි බාරදෙන්න ආයුබෝං.’
අවසන මස් ගෙනත් බාරදීමේ කාරිය මට පැවරින. දිනය පැමිණිය ද මස්වලට ආරංචිය නොලැබුණෙන් මම ජා ඇල ප්‍රනාන්දු මුදලාලි මහතාගේ නිවසට දානයට පෙරදා සවස ගියෙමි.
‘හරි. ඔක්කෝම හරි. මං මේ මුන්නැහැ පරක්කු මොකද කියලා මග බල බල හිටිය. දානයක් කිව්වම ඒක හරියට කරන්න එපායැ. නැද්ද මං කියන්නෙ.’ කිවූ මුදලාලි මහතා මට වාඩි වෙන්නට සලසා නිවස ඇතුළට ගියේය.
ටික වේලාවකින් ඔහුගේ වත්ත පහළ ඇහුණ ශබ්දය කුමක්දැයි මම එබිකම් කළෙමි. ප්‍රනාන්දු මුදලාලි මහතා විශාල මන්නා පිහියක් අමෝරා ගෙන මර අඬ දෙන දැවැන්ත චීන ඌරෙකු පසුපස එළවමින් සිටියේය.
ඔහු තම පරිත්‍යාගය කරන්නට උත්සාහ ගත්තේ අවංකවම ය. එය කොතෙක් දුරට ‘සම්මා වායාමයක්’ දැයි යන්න තවත් කාරණයකි.
– – –
පූජ්‍ය කාරුණිකා මෙහෙනින් වහන්සේ මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණවල සාමාන්‍ය අර්ථය ද සරලව පහදා පදුන්හ.
විහාරවාසී පූජ්‍ය කහන්තැන්නේ සුබෝධ ස්වාමීන් වහන්සේ මහින්දාගමනය හා සමග එතෙක් රටේ පැවති පිළිම හා වෘක්ෂ වන්දනාව වැනි ව්‍යවහාරයන් බෞද්ධ ආගමික ව්‍යවහාරයන් කරා වෙනස් වූ ආකාරය පැහැදිලි කර දුන්හ. විහාරවාසී රජවැල්ලේ ධම්මසිරි ස්වාමීන්වහන්සේ විසින් පොසොන් පෝදා ආගමික කටයුතු සිදු කරනු ලැබිණ.
අසනීපව මාස කිහිපයක් නිවසට කොටු වී සිටි මට, ‘වයිකාතෝ බෞද්ධ විහාරස්ථානයේ’ මෙම පොසොන් දිනය තවත් ‘පිරුණු දවසක්’ වීය.
කේ.ඒ.බී.කරුණාරත්න – හැමිල්ටන්