හඩනා උතුනි, අසනි වැසි වැටුන බිම හා නිබ්බිදාව නම් කාව්‍ය ග්‍රන්ථ තුනක් කලින් පළකර ඇති අමරසිරි ගුණවර්ධන ලියූ අලුත්ම කවි පොත, කැණිමඬලේ කවි, මෙම දෙසැම්බර් 16 දින ඕක්ලන්ඩ් රෙමුරාවල දී එළිදැක්වෙනු ලැබීය.
පොතෙහි නමට පාදක කර ගෙන ඇති ‘කැණිමඬලේ ගීතය’ කවි පංතිය මෙසේ පටන් ගනියි.
ඉස්තෝප්පුවෙ උඩට එසවුණු
කොස් ගසක අරටුවේ ඉපදුනු
යුගලයක් කණු, කැටයමක් නැති
දරා උසුලයි කැණිමඬලෙ බර
සියවස් ගණනක් ගියද පරිසරය වෙනස් වුවද සොහාන් කොත දර්ශනයෙන් හා සෝබර ගී ශ්‍රවණයෙන් වියුක්ත වී ගියද එම යුවල තවමත් ‘ හිනැහෙමින්’ කැණිමඬලේ බර දරා සිටිතැයි කවි පෙලෙන් කියැවේ. කණූ යුවල සංකේතයනි. ‘හිනැහෙනවා ඒ යුවල’ යනුවෙන් කීම අජීවී වස්තූන් සජීවීව සිටිතැයි පෙන්වන උත්ප්‍රේක්ෂකාලංකාරය යොදා ගැනිමකි. දෙමාපියන් මිය ගියත් හිනැහෙමින් සිටින බව කීම විද්‍යමාන නොවන දෙයක් විද්‍යමානවන බව පැවසීමකි. මෙය ප්‍රතිවිරුද්ධ (antithesis/antonym) යෙදුමක් මගින් ප්‍රස්තුතය වඩාත් තීව්‍ර කිරීමට ගන්නා කාව්‍ය ප්‍රයෝගයකි.
කැණිමඩලේ කවි පොතෙහි බොහෝ කවි පන්ති යම් යම් විශේෂ යෙදුම් මගින් තම පරිකල්පනයන් ඉදිරිපත් කිරීමට කවියා ගන්නා උත්සාහ පෙන්වයි.
මෙසේ පෙට්ටගම තම මතක සුවඳ තැන්පත් කරන තැනක රූපයක් ලෙස ‘පෙට්ටගම’ කවි පංතියේ ගෙන හැර දක්වයි. අනාථ වූ දැරියක පීතෘ සෙනෙහසින් හදා ගන්නා, කිඩාරම් මල ද සුවඳයි කියන, සිංහල පියෙකුගේ අනුවේදනීය කතාවකට ‘දුරුඝාවී’ කවි පෙළ සම්බන්ධය. ‘කම්පනය’ පැදි පෙළෙහි රෝගී මිතුරකු බලන්නට යන කථකයාට හෙදිය පෙන්වන්නේ මිනී කාමරයය. ‘පහන් කණුව තනි වී’ වසංගත සමයේ හුදෙකලා වූ පුරඟනකගේ ශෝක ගීතයකි. ‘රංජනියේ නුඹ කොහේද’ කවි පෙළ නගරයට ගිය තරුණයෙකුට ගමට එන්නට පාර කියන ලෙස මවගෙන් යදින මහගම සේකරගේ ‘ගම අමතක වී’ කවි පන්තිය සිහි කරවයි.
ශබ්දාලංකාරයේ ලා අමරසිරි ගුණවර්ධන තම භාෂාව වඩාත් නිදහස්ව හසුරුවයි.
ගොරක බිම කුණුවෙලා ගහ වටේටම පිරී
දිරපු කඹ පිළිකන්නෙ බලාගෙන ඉන්නවා
පොරෝ තල මිට දිරල කැපෙන බැව් පෙන්වමින්
ගෙජ්ජි වැල ගව මඩුවෙ ඉඳ හිටල අඬනවා (පෙට්ටගම)
බිම කුණු වූ ගොරක, පිළිකන්නෙ බලාගෙන ඉන්න කඹය වැනි යෙදුම් කැටිකර ගත් බස, තේමාව කරගත් විෂයෙහි ඇති ගූඪත්වය තීව්‍ර කරවයි.
පර මල් වැටී තණ මත සුදු පැහැය හලා
බර කල්පනාවක මා සිත ඇතුල් කළා
නා මල් සුවඳ සමගින් බොඳ කඳුළු ගලා
එද්දී දිළුණ රුව මගෙ සිත සලිත කළා (බිලි වීම)
මෙම පැදි පෙළ කතාවක් කියන්නට යන විමලරත්න කුමාරගම අයියනායක වැනි කවිවලට යොදා ගත් සරල ශෛලිය සිහි කරවයි.
‘අයාලේ ගිය සිතක්’ කවි පංතිය යොදා ගන්නේ වඩාත් නිදහස් ශෛලියකි.
‘සිරිමල් උඹට පිං මගේ ඇස් ඇරියට
බැලුවම නරුමයෙක් වෙලයි හිටියෙ මං
කියල හිතනවා දැන්
මයේ ඇස්-හිත් වැහිලයි තිබුණේ අඳුරට…’
පොත් ප්‍රකාශනයට ඇති විවිධ අසීරුතා මැද වුව බොහෝ පරිපූර්ණ කවි පෙළ කිහිපයකින් යුතු ‘කැණීමඬලේ කවි’ පොත ඉදිරිපත් කිරීම අමරසිරි ගුණවර්ධන ගත් සාර්ථක උත්සාහයකි.
ශාලාව සැකසීම හා ආරාධනා කටයුතු සංවිධානය කිරීම, ශබ්ද විකාශන හා දෘෂ්‍ය මාධ්‍ය පහසුකම් සැලසීම, ගී හා නෘත්‍ය රංග ඉදිරිපත් කිරීම වැනි දෑ කාර්යක්ෂමව ඉටු කළ හිතවතුනට හා මෙවැනි කාර්යයකට ධෛර්යය ලබා දෙමින් විවිධ බාධක මැද පැමිණ සිටි හිතවත් සහෘද පිරිසට සිංහල සාහිත්‍යය හා කවිය අගය කරන කවරෙකු වුව පැසසිය යුතුය. නවසීලන්තයේ, ‘එතෙර අපි සංවිධානය’ පොත එළිදැක්වීමේ කටයුතු මෙහෙයවීය.