ඔය මැතිරිලි නවතාලව
ගායනයන් යාතිකාවන් නවතාලව.
දොරගුළු සියල්ල වසා ගෙන,
අදුරු මුල්ලකට වි,
තොප වැඳ වැටෙන්නේ කවරෙකුටද?
ගොවියා චණ්ඩ පොළව කොටන තැන,
මාර්ග තනන්නා ගල් කඩන තැන,
දෙවියන් වහන්සේ වැඩ සිටි සේක.
අව්වේදීත්, වැස්සේදීත්
උන්වහන්සේ ඔවුන් සමග සිටි සේක.
උන්වහන්සේ ගත දැරූ වස්තු සියල්ල
ධූලියෙන් වැසී ගොස්
ඇත්තේ වන.
ඔය ශීර්ෂ පොරෝනය ඉවත දමව,
ඉවත දමා, උන්වහන්සේ මෙන්,
ධූලියෙන් වැකුණු මහ පොළවට බටුව.
විමුක්තිය?
මේ විමුක්තිය කොකැන්හී
සාක්ෂාත් කළ හැක්කක්ද?
අපගේ ස්වාමිදරුවන් විසින්,
මහත් ප්රීතිප්රමෝදයෙන් යුතුවම
නිර්මාණයේ සියලු බැමි මුදාහරින ලද්දේය.
උන්වහන්සේ, සදාකාලයෙන් සදාකාලයට
අප සමග බැඳී, වෙලී
වැඩ වසන සේක.
මේ භාවනාවෙන් මිදී පිටතට එව.
ඔය පුෂ්ප-ගන්ධ- දුම් සියල්ල
ඉවතට විසිකරදමව.
තොපගේ වස්ත්‍රය පමණක් ඉරුණාට-
ඒහි මඳක් ධූලි වැකුණාට-
ඇති වරද කිමෙක්ද?
තොපගේ ශ්රමයේදීත්-
තොප දෙබැම ලන ඩහදියේදීත්-
උන්වහන්සේ තොප හමුවන සේක.
එසේ හමුවන උන්වහන්සේ සමග,
එක්ව නැගී සිටුව.
රවින්ද්‍රනාත් තාගෝර්
පරිවර්තනය ආචාර්යය ඩබ්. ඒ.අබේසිංහ (තුන්වැනි ලෝකයේ කවි හා වෙනත් කවි.)