මව, පියා, ආගම, මව්බිම, ආදරය, විප්‍රයෝගය අතීතාවර්ජනය, සමාජමය විෂයයක් වැනි මාතෘකා පාදක කර ගෙන ලියූ විශාල කවි සංඛ්‍යාවක් මේ වනවිට ශ්‍රී ලංකන්ස්හි පළ වී ඇති අතර ඒ හැමෙකකම කිසියම් හෝ විශේෂත්වක් ඇත. භාෂාලංකාර හා අර්ථාලංකාර එක්කර ඉදිරිපත් වන මෙම කාව්‍යමය පරිකල්පනයන් (Poetic Imaginations) වල මව්රටට රචකයාගේ ඇති ආදරය මුසු වූ අවස්ථා එමටය. මෙහිදී සීමිත ඉඩකඩ නිසා ශ්‍රී ලංකන්ස් පුවත්පතේ පළ වූ ඒවායින් තෝරා ගත් කවි කිහිපයක් පමණක් සැලකීමට ලක්කර ඇත.
තමා ‘සංක්‍රමණිකයෙකි’යි යන මානසිකත්වයෙන් යුතුව සිට මව් රටට ඇති ආදරය පෙන්වන කවි විශාල ප්‍රමාණයක් ලියැවී ඇත. මෙල්බර්න්, ඔෆිසර්වල පදිංචි අවානි කාංචනා කොඩිප්පිලි ගේ ‘උපන් බිමෙන් ඈත් වූ අපි’ පැදි පෙළෙහි උදේ කුරුල්ලන් ගී ගයද්දී ඇයට මෙසේ මවිබිම සිහි වේ.
‘දවස ගානෙම වසර ගානෙම එකම උණුසුම නිතර ගැටෙනා
වාසනාවන් මගේ ලක්බිම සුහද මතකය තවම තියෙනා.’
ලෝකයේම බර හිස මත දරා කතා, සිනා නැතිව මිනිස්සු එහේ මෙහෙ යති. තම රටවලුන් ද සිටින්නේ ජනෙල් රෙදි වසා ගෙනය. මව් පිය සොහොයුරන් නැති රටක කෙතෙක් සම්පත් ඇතත් කුමටදැයි අසන ඇය පැදි පෙළ අවසන මෙසේ සටහනත් තබයි.
‘ගතත් දුබලව යන්න මත්තෙන් හිතත් සවිබල තියාගෙන
හදත් හදවත තියෙන සුසුමත් අරන් එන්නම් ණය ගෙවාගෙන.’
‘මගේ අයැදුම’ නමින් පැදි පෙලක් ලියන වෙලින්ටන්හි උපාලි සල්පදෝරු මහතා තවත් පියවරක් ඉදිරියට යයි. හවස හතරට කළුවර සමග ටක ටක ගා අයිස් කැට වැටෙද්දී කථකයා සීතල නිසා නිදා ගත නොහැකිව ගිනි තපී. උදය දහය පසු වී ඉර පායතත් කුකුළෝ නාඬලති. මල් නැති ගස් ඇට සැකිලි වී ඇත. සීමිත අසල්වැසි ඇසුර මැද සුළඟේ පීඩනය විඳීන කථකයා වෙනුවෙන් ඔහු මෙසේ පැදි පෙළ නිම කරයි.
‘හිතුනොත් මා ලංකාවට යන්නේ
පූරුවෙ පවකටයි අප මෙහි ඉන්නේ.’
ගවිත්‍රී යටිගම්මනගේ ‘මමත් එනවා නොවැරදීම’ නම් කවි පෙළෙහි කථකයා සිහින රැසක් මැද පොත් පැන්සල් අත දරා, කොළ ටයි, සුදු රැළි ගවුම ඇඳ පාසල් ගිය හැටි සිහිකරයි. පෝදා මල් වට්ටිය අරගෙන සාදු නාද දෙමින් මළුව වටේ ගිය හැටි සිහිකරයි. ඇතුගල්පුර නගරය මැද උජාරුවට ඇති ඔරලෝසු කණුව සිහිකරයි. වැව් කුමරිය තෙපලන වදනක් අහන්නට, එතොත් මිතුරන් දිනක, තමනුත් එන බව කියන ඇය පැදි පෙළ මෙසේ පටන් ගනියි.
‘මහ කළුගල මත දිදුළන පිළිමේ
නිල් දිය රළ මත සෙවනැලි ඇදුණේ
සුන්දර මතකය වටකර ඇතුගල
ලෙන්ගතුකම මයි දෝරා ගැලුවේ’.
ඇතුගල, වැව්තෙර, ඔරලෝසු කණුව ඈය මනසින් මව් බිමට ගෙන යන සංදෙව් දී වන සිහිවටනයන් ය.
දැරියන් කෙස්ස කපා සිටීම, ගවුම කොටට ඇඳීම, තද වෙන්නට අඳින කලිසම, සායම් තවරා මුහුණ හැඩ ගන්වා තිබීම, සිංහලය වෙනුවට ඉංග්‍රිසිය භාවිතාව ආදිය ගැන තිගැස්සී ලියූ ගයානි සිල්වාගේ ‘කෙල්ලනේ අද’ කවි පෙළෙහි ඈ වෙනස් වීම පිළීගනී. එහෙත් එහි සීමාවක් ඇතැයි මෙසේ පවසයි..
‘ලෝකය තුළ ඇති දියුණුව
හැම දෙනාම පිළි අරගෙන
කිසි වරදක් නෑ ඒ තුළ
සංවරකම නැතුවා මිස
ලෝකය තුළ කොහේ ගියත් කොතෙකුත් හේතූන් හින්දා
අපි සිංහල කෙල්ලන් බව
අමතක වෙන්නේ කෙලෙසා.’
ශ්‍රී ලංකන්ස්වලට විවිධ තේමා යටතේ නිතරම ලියන ප්‍රියන්ති ආදිහෙට්ටි (ඕපාත), ‘එදා සහ අද’ නම් පැදි පෙළෙහි පවසන්නේ තැපැල් මාමා වෙනුවට අද ඊමේල්, මුහුණු පොත, ජංගම් දුරකථන සමාජ මාධ්‍ය ඇත. නිතර දෙවේලේ බුදු බණ ඇසේ. මත්කුඩ බත බුලතේ තැන ගෙන ඇත. සියල්ලන්ම දුවන ලෞකික තරගයේ අවසන, ඇතැමෙක් අතරමං වෙති.
‘ගුණදම් ඇත විසිරි සැම අත
දුවාගනු බැරිදා ඒ මානේ
දිවි තොරකර ගනු හැර
ඒ අය නොදනිති ‘විකල්ප’මාවත.’
‘පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම සත්ව හිංසාවකි’, යි කියන බටහිර මතයට එකඟ නොවෙමින් වෙලින්ටන්හි අනු වීරකෝන් ‘නැදුන්ගමුවේ ඇත් රාජා’ ගැන ලියන පැදි පෙළට ද මෙම දේශානුරාගයම මුසු වී ඇත. කෙළක් සතුන් කපා කොටා මසට ගනිමින්, විනෝදයට ඉලක්ක අල්ලා සතුන් මරා දමන ඇතැම් විදේශ ජාතිකයන්ට ඇති ප්‍රශ්නය සිරිත් විරිත් රකින්නට සම්ප්‍රදායිකව අලි ඇතුන් පෙරහරක ගෙන යාමය යන්න පැදිපෙළෙහි ඉස්මතු කර පෙන්වයි.
හිස මුඩුකර දමා කෙනෙකු රටින් පන්නා දැමීම පෙර කලර ඇතැම් රටවල සොරුන්ට මංකොල්ලකාරයිනට දුන් දඩුවමකි. අවනීතිය අතට ගත් විජය පන්සීයක් එවැනිම යහළුවන් සමග තම රටින් පන්නා දැමූ විට ආවේ තම්බපණ්ණියටය. මුල දී කුවේණිය සමග ඔහු ජීවත් වූ බව, ඇයගේ සහායෙන් යක්ෂයන් පරදා දේශයේ පාලකයා වූ බව වංශ කතාවල සඳහන් වේ.
‘හිස අඩක් බූ ගෑ ඔබේ විජය දැක
විමසුවේ නැතිද එහි ඇති කාරණය කිම?
නෑ සිය පිරිසගේ ඉපැරණි බලය බිඳ
ගුණමකුවෙක් රජවෙන බව නොදුටුවෙද?’යි
අසමින් අනු ලියූ ‘කුවේණියගෙන් අසමි’ පැදි පෙළ කියවන පාඨකයා, ඉක්බිති සියවස් කිහිපයකින් කලා සාහිත්‍යයෙන් පරිපූර්ණ වූ ‘ශ්‍රී ලංකා’ දේශයේ ජාතියක ආරම්භය මේ සාප්‍රලාපයක් විය හැකිදැයි ප්‍රශ්න කිරීමට පෙළඹෙනු ඇත.
ගතින් ලොව කොතැන සිටියත් සිතින් අප සිටින්නේ මහගෙදර බව ඕක්ලන්ඩ්හි අචලා නෙළුනිකා ‘මහගෙදර’ නමින් ලිවූ පැදි පෙළ සිහිකර දෙයි.
‘ආදරය උතුරා පිටාර ගලන් තැනක් වේද
එය නම් ඉතිං මහගෙදරය
ලෝක සිතියමේ කොතැනක එය තිබුණ ද
සැමදා අප සිතින් යන එන වෙසෙන තැනයි.’
දෑස පියූ සැනෙන් මැවෙන්නේ මහගෙදරය. නින්දෙන් හෙලන සුසුමට ඇසෙන්නේ මහ ගෙදරය. මවගේ බත් පතේ රසය ඇත්තේ මහගෙදර ය. හිස පිරිමදින පියාගේ කරුණාව ඇත්තේ මහගෙදරය. නංගී, මල්ලී රංඩු වන ආදරය උතුරන තැන මහගෙදරය ‘මහගෙදර මතකය’ අචලා අප ගෙන යන්නේ මව්බිමට ය.
නිරතුරුවම ඉතා කුඩා වස්තු බීජයක් මුල්කර ගෙන සාර්ථකව විකාශනය කළ නිර්මාණයන් නිතරම පුවත්පතට එවන ඕක්ලන්ඩ්හි ඉන්ද්‍රා දයාමණී කොළඹගේ ගේ ‘පොසොන් සඳේ රැස් ලීලා’ පැදි පෙළෙහි ද ගැබ්ව ඇත්තේ මව් රටට ඇති බැඳීමය. ආදරය ය.
‘නුබ කුස දිළෙන සඳ කුමරිගෙ රැස් ලීලා
පැතිරෙයි සාදු නද සමගින් මුසු වීලා
නාහිමි මිහිඳු වැඩහිටි කඳු මුදුන බලා
පාවෙයි හිම කැරලි මෙන් සුදු පුළුන් වළා’
යනුවෙන් ඇය මිහින්තලය ගැන සිහිකරවමින් පැදි පෙළ අරඹයි. මහමෙවුනාවේ සිල්ගත් අයගේ මුහුණ දකින්නට හඳ පායයි. අම්මා සමග අනුරපුර යාමට ඇත්නම් යයි ඇය සිහින මවයි. පැදි පෙළ අවසන් කරන්නේ පොසොන් සහ මිහින්තලයේ ඇති බැඳීම මෙසේ සනිටුහන් කරමිනි.
‘මිහින්තලාවට ඉහළින් නිල් ගුවන පුරා
පොසොන් සඳ දිලෙයි පතුරා රැස් දහරා
ඇහැල ගහක් ගානේ කහ පැහැය දරා
දිදුලයි මල් පොකුරු ඒ සිල් සුවඳ දරා’
ඕක්ලන්ඩ්හි ඒ.එම්.එල්.අත්තනායක, සිත නිවන තැනක් ලෙස හඳුන්වමින් ‘ඔහිය දුම්රියපොළ’ ගැන ලියූ කවි පෙළ ද මෙවැන්නකි. කපුවකු නැති දෙවොලේ පඬුරක් බැද ලෝකාන්තයට යා හැක.
‘ප්‍රේමයෙන් පරාජිත පෙම්වතුනි
ගිලන් හද කලඹන සුසුම්
කුණාටුව නැගෙන දින
අරඹන්න හුදෙකලා චාරිකා
ඔසුවක් නොමැති හද බිඳුමට
ඔහිය දුම්රියපොළෙන් බසින්න’
දෙවොල් බිම භාරයට තබනු වස්, වැහි ලිහිණි හඩ නගන මීදුම මැදින් ගොස් හිම මිදුණ ලෝකාන්ත බෑවුමේ අශෝක පඳුරක මලක් නෙලා ගත හැක. අවසන අත්තනායක මෙසේ අසයි.
‘දුටුවාද තව මලක්
තවත් කිසිවකු ආ වග
පුදසුන් කෙළවරක
කඳුළකින් නැහැවුණු?’
පුදසුන කෙළවර පිදුණ, කදුළින් නැහැවෙන මලක් ඔබ දුටුවා නම් තවත් ප්‍රේමයෙන් පැරදුණ එවැන්නකු පැමිණ ඇත. ඊට හේතුව ඔහු මෙසේ පවසයි.
‘ප්‍රේමයෙන් පරාජිත පෙම්වතුනි
ඔසුවක් නොමැති හද බිඳුමට
කඳුළකට කඳුළක් හමුවන
ඔහිය දුම්රියපොළෙන් බසින්න’
මෙසේ අතිශය චමත්කාර ජනක ඔහිය දුම්රියපොළ සිහිකරමින් ඔහු පාරිකල්පනිකව මව් රටට ප්‍රවිෂ්ට වෙයි.
ලෝකයේ අති සුන්දර ස්වාභාවික දර්ශනවලින් පිරි නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් රටක විසුවා වුව ශ්‍රීලංකන්ස්වලට ලියන බොහෝ දෙනෙකුගේ කාව්‍යය පරිකල්පනයනට තම මව්රට කෙරේ ඇති බැඳීම මිශ්‍රව ඇති බව මෙසේ පැහැදිලි වේ.
-ශ්‍රී ලංකන්ස්-