අතේ හතයි, ඇතුලෙ තිහයි
ඒ බරටම කෑලි දෙකයි ,
කැවුම්, කොකිස්, තල අලුවා, පැණි බූන්දි, මල් මුරුක්කු
වේලපු කොස්, වේලපු දෙල්, රම්පෙ මැදට කරපිංචාත්
තුලාවට නගිනවා, බර වැඩියි බහිනවා
සමහරක් ඇතුලටත්, ආයමත් එලියටත්
ලට්ට ලොට්ට බැලන්ස් කරන්
දරුවො බලන්නයි කියාල, නවසීලන්තෙට ආවනෙ
ඒ මදිවට සමර් එකලු
සන්ස්ක්‍රීම්, ක්‍රීම් ගාල
තට්ටු තුනක් ඇඳුම් ඇදල
අනේ අම්මප ඒ මදිවට
ඔසෝනුත් හිල්වෙලාලු
සීතල සුළගට අහුවෙල
පෙනහැලි දෙක පැද්දෙනවා
හායි, බායි, ගුඩ්මෝනින්
උදේ හවස ඇවිදිනවා
හැම්, බේකන්, චීස්, පාන්
ෆිෂ් එක්කල දැවටුව චිප්ස්
ඒ මදිවට ඇපල් පෙයාර්ස්
මිදි, මී පැණි, නොයෙක් ජූස්
කැලරි බලල ගිල දමනව
අඹ, රබුටන්, දඹල, පොලොස්
ටින් ඇතුලේ හිනාවෙනව
හොරෙන් හොරෙන් නිරතුරුවම
මහ වැහි බිඳු ඇදහැලෙනව
හීටර් වල රස්නෙ සුළග
ගමට හොරෙන් අරන් යනව
සමර් එක මෙහෙමනම්
වින්ටර් එක? ඒ වගක් මොනවටද
සමර්, වින්ටර් කොහොමත් නැති
යල, මහ දෙක විතරක් ඇති
අපි යන්නම් අපේ රටට
ආයුබෝවන් නිව්සීලන්ඩ්….
By Sagara Wickramasinghe – Maspotha, Sri Lanka