මෙවර පිළිසඳරට උණුසුම් ඇරයුම් ලබන්නේ ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසූන්දර සහ ඔහුගේ ආදර බිරිඳ සන්ධ්‍යා විජේසුන්දරයි.
මේ දිනවල අලුතින් රචනා කළ ගීත, පටිගත කරපු ගීත වගේම පටිගත කරන්නත් ගීත ගණනාවක් රසියකයන් වෙනුවන් තිබෙන බව ප්‍රියානන්ද විජේසූන්දරයන් ආරම්භයේදීම සතුටින් ප්‍රකාශ කළා.
1995 වර්ෂයේ නවසීලන්තයේ ස්ථීර පදිංචියට සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග පැමිණි මතකයන් ඔහු මෙසේ අවදි කළා.’නෑදෑ හිතවතුන් මිතුරන් ඒ වගේම මගේ කලා කටයුතු වගේ බොහෝ දේ අතහැරලා දාලා තමයි මේ තීරණය ගත්තේ. ඒ කාලයේ ලංකාවේ මට තිබුණු පිළිගැනීමත් එක්ක බොහෝදෙනා මගෙන් ඇහුවා ඇයි ලංකාව දාලා යන්නේ කියලා. ඒත් මට ඒකට ඔවුන්ට දෙන්න නිශ්චිත පිළිතුරක් තිබුණේ නැහැ’
මුහුණ දීපු ලොකුම අභියෝග තමයි ලංකාව දාලා එනවා කියන එකයි මේ රටට ගැළපෙන්න ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාවයි. මොන රටක හිටියත් කලාව මගෙන් ඈත් වෙන්න නැහැ කියලා මම දැනගෙන හිටියා.
මේ රටට ඇවිත් තමයි අපි රැකියා හොයන්න ගත්තේ. ලංකාවේ මම ගුරු වෘත්තිය කරපු කෙනෙක් මම මේ රටට එනකොටම හිතා ගත්තා ගුරු වෘත්තිය කරන්නේ නැහැ මේ රටේ කියලා. මගේ රූපවාහිනී ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් රැකියාවක් හොයාගන්නවා කියලා මම හිතා ගත්තා, උත්සාහ කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට මට රැකියාවක් ලැබුණා TVNZ ආයතනයෙ.
මගේ බිරිඳ උපාධියකුත් දිනා ගනිමින් ගුරු වෘත්තියෙන් මෙහි ප්‍රථම රැකියාව පටන් ගත්තා. මේ ගමන කොහොම හරි යනවා කියන අධිෂ්ඨානය අපි දෙන්නටම තිබ්බා. අද අපි ඇත්තටම බොහොම සතුටින් ජීවත් වෙනවා.
ප්‍රියානන්දයන් ගීත රචනාවට මුල පිරූ අයුරු හරි අපූරු අත්දැකීමක්.
‘මම ළමා ගීත ගණනාවක් රචනා කරලා තියෙනවා ළමා පිටියෙ. ඒත් ඒවා එවෙලෙ ප්‍රචාරය වුනා පමණයි පටිගත කෙරුනේ නැහැ. ඉන්පසු මම පුවත්පත්වලට ගීත රචනා කරා ඒත් ප්‍රචාරය වුණේ නැහැ. එක දවසක් අතුල සෝමසිරි කියන ප්‍රවීණ ගායන ශිල්පියා, සංගීතඥයා ගෙන් මට ලැබෙනවා තැපැල්පතක්. එහි ලියා තිබුණදේ මට අද වගේ මතකයි. ප්‍රියාදර මල්ලි, ඔබේ පද මාලාවක් මගේ බිරිඳ ලාලනී සරල ගී වැඩසටහනට ගයන්න තෝරා ගත්තා. එය අහවල් දින ප්‍රචාරය වෙනවා කියලා.’
ඒක හරියට ලොකු සහතිකයක් ලැබුනා වගේ සතුටක්. එය තමයි ගුවන් විදුලියේ ප්‍රවීණ ගායන ශිල්පිණියකගේ හඬින් ගායනා වුණු වගේම තැටිගත වුණු ප්‍රථම ගීතය. එදා ඉඳන් අද වෙනකොට මම හිතන්නේ සිනමා චිත්‍රපට ටෙලිනාට්‍ය වගේ හැම ක්ෂේත්‍රයකම ගීත 2000 වැඩි ප්‍රමාණයක් ලියවිලා තියෙනවා.
වර්තමානයේ ගීත රචකයන්ට හිමි ස්ථානය සම්බන්ධයෙන් මේ ඔහුගේ අදහස්.
මම දැකලා තියෙනවා සමහර සමාජ මාධ්‍යවල ගීත රචකයාගේ නම කියලා තියෙන්නෙ Unknown. ඒක එහෙම වෙන්න විදිහක් නැහැ. ගීතය රචනා කරපු කෙනෙක් ඉන්නම ඕනේ. එක්කෝ තිබෙන තොරතුරු වැරදියි. ගායකයකුව නම් කටහඬින් අඳුරගන්න පුළුවන් හැබැයි රචකයාව එසේ අඳුරගන්න බෑ ඉතින් එහෙම වුණොත් අසාධාරණයක් වෙනවා එතැනදි රචකයාට සහ සංගීතඥයාට.
මේ දවස්වල අප අතර බොහෝ ජනප්‍රිය අමු සින්දු ගැන ඔහුගේ අදහස වුණේ,
මම හිතන්නේ මෙතන මේ සංකල්පය වැරදි නැහැ. නමේ තමයි වැරැද්දක් තියෙන්නේ. සංගීතයේ තියෙනවා Voice prominent music සහ Music prominent music.
බටහිර බොහෝ රටවල Music prominent සංගීත තමයි අපිට අසන්නට ලැබෙන්නේ.
අපේ ආසියානු කලාපීය රටවල ගොඩක් විට හඬ එක ඇහෙනවා සංගීතයට වඩා වැඩියෙන්. දැන් අපේ ජනකවි බලන්න. කොච්චර ගෞරවාන්විතද. ඉතින් මේ නම පොඩ්ඩක් සන්සුන් වුණා නම් මීට වඩා වටිනවා කියලා හිතෙනවා මට. වික්ටර් රත්නායකයන්ගේ දෛවයෝගයකින් නොවේ කියන ගීතය බලන්න. මේ 70 දශකයේ ගැයුන ගීතයක්. සුනිල් ආරියරත්නයන් එදා කිව්වා ‘වික්ටර් මට ඇහෙන්න ඕනේ සින්දුවේ ඔයාගේ කටහඬ විතරයි’ කියාලා. ඒකත් අමු සිංදුවක්. ඒවගේම ටි.එම්. ජයරත්නයන්ගේ පවනට සැලෙනා ගීතයත් ගිටාර් එක විතරයි වාදයනක් විදියට ඇහෙන්නේ.
අවුරුදු 60කට වැඩි කලා දිවියේ අත්දැකීම් සම්භාරයත් සමඟම රස මුසු තැන් ද ඔහු මෙසේ විස්තර කළා.
ගේය පද රචකයෙක්, නිවේදකයෙක්, කැමරාකරුවෙක්, සංස්කාරකවරයෙක් හැටියට කලා ජීවිතයේ රසමුසු තැන් වගේම ඉතා දුක්බර අවස්ථා, අමතක නොවෙන තැන් තියෙනවා. ඒවා මම හිතන්නේ මෙහෙම කතා කරලා ඉවර කරන්න අමාරුයි. ඒ අත්දැකීම්වල සතුටු වන අවස්ථාවක් තමයි ලංකාවේ පළවෙනි රූපවාහිනි නාලිකාව ආරම්භ කරද්දී ශාන් මහත්තයා සමග අපි හය දෙනෙක් තමයි බත්තරමුල්ලේ කුළියට ගත් ස්ථානයක මුල් අදියර පටන් ගත්තේ. ඉතින් මමත් ඒ හය දෙනාගෙන් කෙනෙක්. ඒ මට ඉතාම සතුටට කාරණයක් අදටත්. තවත් ආඩම්බර හිතෙන මතකයක් තමයි පෞද්ගලික රූපවාහිනි නාලිකාවක මුල්ම සිංහල ප්‍රවෘත්ති ප්‍රචාරකයා වීමේ ගෞරවය ලැබීම.
කලා ක්ෂේත්‍රයට යොමුවන විදේශ රටවල ජීවත්වන නවකයින් කියන කතාවක් තමයි ලංකාවේ තරම් අපිට ප්‍රේක්ෂකයන් නෑ කියන මැසිවිල්ල. එදා රුවන්වැලි සෑය හදද්දී හරි අවුකන පිළිමවහන්සේ නෙලද්දී හරි හිතුවනම් කවුරුත් මේකට වන්දනා කරන්න, බලන්න එන එකක් නැහැයි කියලා මේ කිසි දෙයක් අද අපිට නැහැ. ඍණාත්මක චින්තනයෙන් අපි බැහැර වෙන්න ඕන.
අපි ඉන්නේ වෙනම රටක. ඒක නිසා මේක හෙමින් යන්න ඕනේ ගමනක්. මෙහි ජීවත් වන ශ්‍රී ලාංකික රසිකයන් වෙනුවෙන් අපිට දෙයක් කරන්න පුළුවන්. අනිත් දේ තමයි නිහතමානීකම. සල්ලි පස්සේ, views පස්සෙම යන්නැතුව ගුණාත්මක නිර්මාණ කරන්න පෙළඹෙන්න ඕන. සිංදු ලියන්න, සිංදු කියන්න, අලුත් නිර්මාණ කරන්න.
තවත් දෙයක් තමයි මේ රටේ විවිධ නම්වලින් විවිධ ගුවන් විදුලි මාධ්‍යන් කීපයක් තියෙනවා දැන්. මගේ ඉල්ලීමක් තමයි නවසීලන්තයේ කලාකරුවන් විසින් නිර්මාණය වුණු ගීත එම වැඩසටහන්වල ප්‍රචාරය කරන ලෙස.
අපි සුසර සුයාමය කියලා රූපවාහිනි වැඩසටහනක් කළා. ඒකෙන් බලාපොරොත්තු වුණේ මේ රටේ ශිල්පීන්ට අවස්ථාවක් දෙන්න. තවත් වැඩසටහනක් අපි කළා මල් යායේ තරු කියලා.
ඔහුගේ ආදර බිරිඳ සන්ධ්‍යා විජේසුන්දර කියන්නෙ මිහිරිම හඬකට හිමිකම් කියන ගායිකාවක් කියලා අපි හැමෝම දන්නවා. ඇය තරුණ කාලේ පටන්ම ඇයගේ ප්‍රියතම ගීත රචකයා ප්‍රියානන්ද විජේසුරයන් බව මතක් කරා. ‘නවසිලන්තයට ආවායින් පස්සේ තමයි හරියටම මගේ ගායන හැකියාව හඳුනගත්තේ. කාලයක් මගේම ගීත ගායනා කරන අතරතුර ප්‍රියා තීරණය කරා මගේම සීඩී තැටියක් එළි දක්වන්න. එහි අඩංගු බොහෝම ගීත ප්‍රියා තමයි රචනා කරලා තියෙන්නෙ. මට ඒක ලොකු සතුටක්.’
ඒවගේම ඇය දරුවන් වෙනුවෙන් එදා ගත් තීරණය අද වෙනකොට තෘප්තිමත් බවකින් සදහන් කළා. ‘මගේ දරුවන් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන්න ඕන කියන ඒ බලාපොරොත්තුවකින් නෙමෙයි මේ තීරණය ගත්තේ. අපිට ඕන වුණේ ඒ දෙන්නා ගුණ යහපත් මිනිසුන් වෙලා අලුත් දේවල් ඉගෙන ගෙන අලුත් ලෝකයට මුහුණ දෙමින් හොඳ ගුණගරුක දරුවෝ සමාජයට බිහිකරන්න. අද ඒ දෙන්න දිහා බලලා අපි ගොඩක් සතුටු වෙනවා.
අලුත් පරම්පරාවට මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට ජීවිතය අතහරින්න එපා. ඔයාලට දක්ෂ දෙයක් තියනවනම් ඒක දිගටම කරගෙන යන්න. වයස කිසිම වෙලාවක බාධාවක් කරගන්න එපා තමන්ගේ වැඩ කරගෙන යද්දී.කාන්තාවක් විදියට තව කාන්තාවකගේ හැකියාවක් දුටුව විට මම හැම විටම ඇයට පුළුවන් උපරිමයෙන් අතහිත දෙනවා, උදව් කරනවා, හිතින්ම අගය කරනවා.
උඩරට සහ පහතරට නැටුම් හදාරා ඇති ඇය ගායනයට පමණක් නොවෙයි තව කලා හැකියාවන්වලින් පරිපූර්ණ දක්ෂ කාන්තාවක්. ප්‍රථම වතාවට නවසීලන්තයේ පැවැත්වූ හෙළ මිහිරේ නර්තනාංග සඳහා සහභාගි වූ මතකය ඇය අවදි කරා. එයට අමතරව ඇය නාට්‍ය කලාව හා සම්බන්ධ වුණු කලා ශිල්පිනියක්. රෝහණ බැද්දගේ, විජේරත්න වරකාගොඩ වැනි කලා ශූරීන්ගේ නාට්‍යන්වල ඇය ප්‍රධාන චරිත නිරූපණය කර තිබෙනවා. නවසිලන්තයේ වාසය කරන රණුක පෙරේරාගේ වේදිකා නාට්‍ය පහකට පමණ අඛණ්ඩව රංගනයෙන් දායකත්වය වී තිබෙනවා.
විජේසුන්දර දෙපලට ඉදිරි කලා කටයුතුවලට සුබ පැතුම් එක් කරමින් ශ්‍රි ලන්කන්ස් ස්තුතිය පළ කරනවා.
සාකච්ඡාව සහ ලිපිය – අචලා නෙළුනිකා
ඕක්ලන්ඩ්