~~ පිළිසඳරක් with Achala Silva ~~
මෙවර පිළිසඳර සමග අප හා එක් වන්නේ දැකුම්කළු ගෙවත්තකට හිමිකම් කියන, අචලා සිල්වා මහත්මියයි.
ඔබගේ පවුල් පසුබිම ගැන හැඳින්වීමක් කළොත්?
මගේ නම අචලා සිල්වා. අම්ම්යි, තාත්තයි ,නංගිලා දෙන්නයි මමයි තමයි පවුලේ ඉන්නේ. ගැහැනු ළමයි දෙන්නෙක් ඉන්න පවුලක මම තමයි අක්කා. අවුරුදු අටකට පෙර නවසීලන්තයට පැමිණි ඒ පවුලේ මම , මගේ මහත්තයා, දුව සහ පුතා එක්ක මම නවසීලන්තයට ආපු දා සිට ඕක්ලන්ඩ් වල පදිංචි වෙලා ඉන්නවා. බබාලා දෙන්නම ඉස්කෝලේ යනවා.
වගා කිරීම,හුදෙක්ම ඔබගේ විනෝදාංශයක් ද? එසේත් නැතිනම් එය ඔබේ රැකියාවද?
මම ගෙවතු වගාවට සම්බන්ධ රැකියාවක් කරන්නේ නැහැ. වගා කිරීම හුදෙක්ම මගේ විනෝදාංශයක් විතරයි. එළවලු වගා කරන්නේ පවුලේ පරිභෝජනයට සහ යහළුවන් අතර බෙදා ගැනීමට තමයි.මම ලංකාවෙ එද්දී ඇත්තටම ගෙවතු වගාව ගැන අත්දැකීමක් තිබිලාම නැහැ. මට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණය පිළිබඳව විශේෂ උපාධියක් තියෙනවා. ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලිකොම් ආයතනයේ අවුරුදු පහක් මම වැඩ කරලා තියෙන නිසාම ඒ හා සම්බන්ධව මට අත්දැකීම් රාශියක් තියෙනවා. පසුව මම නවසීලන්තයට එනවා. දැනටත් මම වගාව හා සම්බන්ධ රැකියාවක නිරත වෙන්නෙත් නැහැ.
නවසීලන්තය වැනි රටකට ගොඩක් අය ආවහම වගාව පැත්තට යොමු වීමේ අඩුවක් තියෙනවා . නමුත් ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඇයි ?
ශ්‍රි ලංකාව සහ නවසීලන්තය රටවල් දෙක තුළම රැකියාවල නිරත වූ මට නවසීලන්තය තුළ “Work life balance” එක වැඩියි කියලා හිතෙනවා. මේ වගේ රටක අනිත් රටකට වඩා කාලය කළමනාකරණය කරමින් ඵලදායි ලෙස අපට කැමති දෙයක් කරමින් ජීවත් වීමට ඉඩ පහසුකම තියෙනවා. අභියෝග ගැන කතා කරනවා නම් “වගාකිරිම” කියන්නෙම අභියෝගයක්. මොකද කාලගුණික වෙනස්වීම් සිදුවන වාර ප්‍රමාණය අනන්තයි. හොඳම උදාහරණය මේ ගිම්හානය (summer). අපිට ගංවතුරෙන් බාධා එල්ල වුණා. කෙටිකාලීන වසන්තයක් තමා තිබ්බේ. සුළි සුළඟ නිසා පැළ ගොඩක් විනාශ වුණා . ඒවාට ගොඩක් හානි වුණා. වාසනාවකට මගේ වත්තට ලොකු හානියක් වුණේ නැහැ. අනපේක්ෂිත දේවල් සිද්ධ වෙනවා. එක කාලයක් තිබුණා, ගොඩක් රස්නෙයි කොච්චර වතුර දැම්මත් පැළ පිච්චෙනවා. අපේ පාලනයෙන් බැහැර මේ වගේ දේවල් වෙද්දි , මේ වගාව කරන්න අමාරුයි සහ එය හරිම අභියෝගාත්මකයි. ඒ තමා මම දැක්ක ලොකුම ගැටළුව.
ඔබ ඒවාට ගන්නා ක්‍රියාමාර්ග?
උදාහරණයක් ලෙස තක්කාලි පැළවලට ගොඩක් වතුර ඕනේ. රස්නෙ කාලවලට උදේ සවස දෙකම වතුර දානවා. වර්ෂාව අධික කාලවලදී ශ්‍රි ලාංකික දේශගුණයට හැදෙන අරලිය පැළවලට මම හරිතාගාරය (Greenhouse) පාවිච්චි කරනවා. සෑම සෘතු වෙනස් වීමක දී වැස්සොත් මම පැළ වර්ග Greenhouse එකට හෝ එහෙමත් නැත්තන් ඩෙක් එකට ගන්නවා. කෙටියෙන් කියතොත් දේශගුණික විපර්යාසවලට අනුව සුදුසුම ක්‍රියාමාර්ග ගන්නවා.
අරලිය පැළ ගැන කතා කළොත් ඒවා ලංකාවෙ වගේම උසට මෙහෙත් හැදෙනවාද? නැතිනම් බොන්සායි ක්‍රමයට ද හදන්නේ?
බොන්සායි ක්‍රමයට නෙවේ. අරලිය පැළ බිම ඉන්දෙවුවාම ලංකාවේ වගේම ලොකුවට හැදෙනවා. මම පෝච්චිවල තමා හදන්නේ. මොකද ඒවට හොඳට අව්ව ඕනේ. ඍතු වෙනස්වීම් අනුව පෝච්චි තැනින් තැනට මාරු කරනවා. හැබැයි වර්ධන වේගය ගත්තොත් ලංකාවේ වගේ වර්ධනය වෙන්නේ නැහැ. අරලිය පොඩි ඉත්තකින් මලක් එන්න අවුරුදු තුනක්, හතරක් පමණ කාලයක් යනවා. ශිත කාලයේදී (Winter) අරලිය Hibernate වෙනවා. එතකොට ඔක්කොම කොළ හැලෙනවා. ආයෙ අලුතෙන් හදන්න පටන් ගන්න ඕනේ. හරිම හෙමින් තමා හැදෙන්නේ.
ලංකාවේ එපිටින් සිටින අයට හුරුපුරුදු seasonal gardening ගැන ඔබේ අදහස කුමක්ද?
ලංකාවේ අපිට වර්ෂාව අනුව වෙනස් වෙන දේශගුණයත් තමයි තියෙන්නේ. seasonal gardening කියන්නේ විවිධත්වයක් සමග එන අභියෝගාත්මක දෙයක්. උදාහරණයක් ලෙස මගේ ගෙදර ඉස්සරහ ඍතු හතරට මල් ජාති හතරක් හිටවලා තියෙනවා. ගිම්හානයට (summer) සන්ෆ්ලවර්ස්, වසන්ත කාලයට (Spring) ඩැෆඩිල්. එතකොට විවිධාකාර ලස්සනක් හැම ඍතුවකටම තියෙනවා. අපි දැනුවත් වෙලා මේ දේ කරන්න ඕනේ. අපේ වත්තක ටියුලිප් මල් පිපෙන්න නම් ඒ පැළේ ඉන්දන්න ඕනේ අපි මාර්තු මාසේ ඉඳලා. යම්කිසි දැනුවත් භාවයකින් යුක්තව කළ යුතු දෙයක් තමයි මේ වගාව. නැතිනම් අපි කොච්චර කැමති වුණත් අපිට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ.
ඔබ මෙහි සදහන් කරනවා ” යම් කිසි දැනුවත් භාවයකින් තමා මේ වගා කටයුතු කරන්න ඔනේ “කියලා මේ පිලිබදව තවදුරටත් විස්තර කලොත් ? ඔබ කොයි වාගේ ක්‍රියා මාර්ග දැනුවත් භාවය ලබාගැනීම උදෙසා ගන්නේද?
මම ඉගෙන ගන්නේ මගේම වැරදිවලින්. මේ තරම් වගා කිරීම පිළිබඳ මම ඉගෙන ගත්තේ වැරදි වැරදි. මට ඕන කාලවලදී වගා කළාට හරි ඵලදාවකුත් නැහැ. ඊට පස්සෙ plant centers වලින් තමා මට උදව් කළේ . ෆොටෝ එකක් ගෙනිහින් පෙන්නුවාම ඒ අය ඒ පැලේ එහෙම වෙන්න හේතුව කියලා දෙනවා. ඊට පස්සෙ ඊළඟ අවුරුද්දේ මම දන්නවා හරියටම මට මොකක්ද කරන්න පුළුවන් කියලා. එහෙම තමයි මම ටිකෙන් ටික ඉගෙන ගත්තෙ. කාට හරි ඒ වගේ වගා පිළිබඳ දැනුවත් වීමක් අවශ්‍ය නම් නවසීලන්තයේ තියෙන support centers වලින් උදව් ගන්න පුළුවන්. ඊට අමතරව සමාජ මාධ්‍ය ජාලවල ඉන්න කෙනෙක් නම් ෆේස්බුක් ගෲප් තියෙනවා.( New Zealand Gardeners, NZ Vege & Edible Gardening, NZ Seed savers, NZ Rare Fruit growers, Container Gardens NZ, Rare Plant NZ, Garden Design NZ, NZ Greenhouse Gardeners) ඒවාට එකතු වෙලා විස්තර ගන්න පුළුවන්. මල් වර්ගවල නම් ,පැළ වර්ග ල නම්, හඳුනාගන්න දැනගන්න ඉගෙන ගන්න මට ඒවා උදව් වෙනවා. ඒ හමුවීම් තුළින් තමන්ගේ අදහස් බෙදා ගැනීමට සහ අලුත් දේවල් ඉගෙන ගැනීමට ලොකු ඉඩක් ලැබෙනවා.
කිසිම රසායනික ද්‍රව්‍යයක් නොදා ඔබ කරන මේ මැජික් එක මොකක්ද?
මම කොම්පෝස්ට් තමා භාවිත කරන්නේ. එළවළු කපලා ඉතිරිවන කොටස්වලින් මම කොම්පෝස්ට් හදාගන්නව. ඍතුවෙන් වෙන් ඍතුවට පස් සකස් කරන විට ස්වභාවික පසට කොම්පෝස්ට් මිශ්‍ර කරලා තමා පාත්ති සකස් කරන්නේ. ඒවට කොම්පෝස්ට් පොහොර එකතු කරනවා, වතුර දානවා,හොඳට ඉර එළිය එන විදිහට ඉඩකඩ හදා ගන්නවා. ඒ තමා මගේ මැජික් එක.
ඔබේ ගෙවත්තේ මොනවගේ පැළ ද තියෙන්නෙ?
එළවළු ,මල්, පළතුරු තමා . හැම ඍතුවකටම අදාළ වන විදිහට මම ගස් වර්ග වවනවා. බ්‍රෝකලි වගේ එළවළු, ජෑම්, පේර ,දෙළුම් වගේ පළතුරු වර්ගත් මගේ ළඟ තියෙනවා.
ඔබේ ගෙවත්ත පුරා ඇති එළවළු පැල වාගේම පළතුරු, මල් ආදිය රැක බලා ගැනීම සඳහා ඔබ දරන වෙහෙස කොපමණද?
හැම සෘතුවක් ආරම්භයේ දී පස සකස් කිරීමේ සිට සියලුම දේවල් නිම කිරීමට සාමාන්‍යයෙන් සතියකට පැය දෙකක් හතරක් අතර කාලයක් වැය වෙනවා. ඊට අමතරව පැළවල අවශ්‍යතාවය අනුව ඒ ඒ පැළවලට අවශ්‍ය කාලය මම ලබා දෙනවා. හැමදාම තේ එකක් අරගෙන උදේට වත්තට යන පුරුද්දක් මට තියෙනවා.එහෙම යද්දී දකින අඩුපාඩු මතක තියාගෙන ඇවිල්ලා සෙනසුරාදට ඉරිදාට අඩුපාඩු සකස් කිරීමට කාලය වෙන් කර ගන්නවා.
විශේෂයෙන් වගා කිරීමේ සඳහා ඉතා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය බව ඔබගේ වගාබිම දකින විට වෙද්දි බොරුවක් වී හමාරයි. ඇත්තෙන්ම වර්තමානයේ ප්‍රචලිත Balcony gardening concept එක ඔබ දකින්නේ කෙසේ ද? එය ඔබගේ වගාවට එකතු වී ඇත්ද?
මට අක්කර ගාණක ඉඩක් නැහැ. තියෙන ඉඩ උපරිම විදිහට ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ. මම භූමියේ වැල් වර්ග, බීට්රූට්,කැරට් වගේ එළවළු වර්ග gardening boxesවල සහ මල් පෝච්චි වල තක්කාලි වගේ දේවල් ඉන්දනවා. Balcony gardening concept එක මම පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක් තියෙන අයට ඒ ක්‍රමය සුදුසු නිසා. මම gardening channels බලනවා. එහිදී මම දැකලා තියෙනවා greenhouse – vertical concept එක යොදාගෙන පැළ සකස් කරනවා. පස් භාවිතා නොකර කොහු බත් විතරක් යොදාගෙන වගාව කරනවා. තව, කල් තබා ගන්න විවිධ ක්‍රම මේ හරහා මම ඉගෙන ගන්නවා.
විශේෂයෙන්ම නවසීලන්තය වැනි රටක බෝංචි ලොකු අස්වැන්නක් ලැබුනහම පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා freeze කරලා තියා ගන්නවා. මගේ ෆේස්බුක් පිටුව follow කරන අය මුලික දැනුම (basic knowledge) දැන් අරගෙන තියෙනවා. ඊළඟ පියවර ලෙස කල් තබා ගන්න ක්‍රම පිළිබඳ දැනුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
වගා කිරීමට අමතරව ඔබ කරන අනිකුත් විනෝදාංශ මොනවාද?
මම කරන අනෙකුත් විනෝදාංශ තමා,
- ශාරීරික සුවය සඳහා: නැටුම් සඳහා කාලය යෙදවීම වාගෙම ඇවිදීම ලොකු කැමැත්තකින් කරනවා. නවසීලන්තය වැනි සුන්දර රටක ඉන්න විට මම මගේ ජංගම දුරකතනය පාවිච්චි කරගෙන ලස්සනට ස්වභාව ධර්මයට අදාළ පින්තූර ගන්නවා.
- මානසික සුවය සඳහා: නිස්කලංකව ඉඳගෙන පොතක් කියවන්න කැමතියි.
- නිර්මාණශීලිත්වය උදෙසා: මම ලියන්න කැමති කෙනෙක්. නිර්මාණශීලී අදහස්, මගේ නොවන අත්දැකීම් අත්විඳ ඇති විදිහට මගේ කරගෙන ලියන්න මට හැකියාවක් තියනවා.
- අමතර ආදායමක් ලැබීමට: INDOOR PLANTS වලට තියෙන ඉල්ලුම නිසාම ඒ හා අදාළ වෙබ්අඩවිවල මාගේ පැළ විකුණන ක්‍රමයක් මම හදාගෙන ඉන්නවා.
නැටුම් පිළිබඳ සඳහන් කරපු නිසා මම අහන්නට කැමතියි, ඔබ කණ්ඩායමක් සමග ද පුහුණුවීම් සිද්ධ කරන්නේ?
අවුරුදු හතක් පුරාවට නැටුම් පුහුණු වෙනවා. ඒ අතරතුර තමයි මට වේදිකා නාට්‍යඑකකට සහභාගිවීමට අවස්ථාව ලැබෙන්නේ. ඒක මට ලොකු අභියෝගයක් වුණා . මොකද සජීවීව සියලුම දේවල් සිදු කළ යුතු නිසා. 2021 වසරේ අසිරිමත් උමතුව නාට්‍ය වගේම – 2023 මේ අවුරුද්දේ – රූපාන්තරය නාට්‍ය සඳහා මම සහභාගි වෙනවා. නැටුම් පුහුණුවීම් කටයුතු එක කණ්ඩායමක් යටතේද, නාට්‍ය පුහුණුවීම් තව කණ්ඩායමක් යටතේද සිද්ධවෙනවා.
ඔබ මේ සියලුම කටයුතු සඳහා කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?
මම ගොඩක් ප්ලෑන් කරන කෙනෙක්. මගේ සම වයසේ කට්ටිය අහනවා මම කොහොමද මෙච්චර දේවල් කරන්නේ කියලා, ඒකේ රහස තමයි මම සතිපතා, මාසිකව, වාර්ෂික වශයෙන් ඉලක්ක හදාගෙන ඉන්නවා සහ journal එකක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි රූපවාහිනිය බලන්නේ නෑ, අනවශ්‍ය කතාබහවලට යන්නේ නැහැ. මම හැම වෙලේම කල්පනා කරනවා මගේ මනසට යන දේවල් පිළිබඳ පරිස්සම් වෙන්න.
අපගේ ආරාධනය පිළිගෙන ශ්‍රි Lankanz හා සම්බන්ධ වීම පිළිබදව අපගේ ස්තුතිය.