ආතතිය යනු අපගේ ශරීරය පීඩනයට දක්වන ප්‍රතිචාර යයි. විවිධ තත්ත්වයන් හෝ ජීවිතයේ සිදුවීම් ආතතියට හේතුවන්න පුළුවන්. කෙනෙකුගේ මමත්වය පිළිබඳ හැඟීමට හෝ එසේ නොවේ නම් ‘මම’ පිළිබඳ ප්‍රතිරූපයට තර්ජනයක් වන අලුත් හෝ අනපේක්ෂිත දෙයක් අත්විඳින විට හෝ යම් තත්ත්වයක් මත අපට පාලනයක් නොමැති බව අපට හැඟෙන විට ඉන් මානසික ආතතිය ඇතිවෙන්න පුළුවන්. මානසික ආතතිය අද සෑම සමාජයකම මෙන් බරපතල ගැටලුවක්. එය පුද්ගලයාගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයටත්, පවුල් සහ වෘත්තිය ජීවිතයටත්, රටක ආර්ථිකයටත් අයහපත් ආකාරයෙන් බලපානවා. අන් රටවල් මෙන්ම අප ජීවත්වන නවසීලන්තයේ ද මෙය බරපතළ ප්‍රශ්නයක්. විවිධ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මානසික ආතතිය පාලනය කිරීම සඳහා යොදාගන්නවා. නමුත් මානසික් ආතතිය තවමත් බරපතල ප්‍රශ්නයක් වශයෙන් පවතිනවා.
මිනිස් සිත එහි මූලික පිරිසිදු බවෙහි පවතින විට ඉන් පැන නගින සිතිවිලිවල ‘මම‘ සහ ‘මම නොවන‘ යන භේදය පවතින්නේ නැහැ. එය ඒකීය වූ චින්තනයක් (oneness consciousness). සිතිවිලි සහ ක්‍රියාකාරකම් ස්වයං–කේන්ද්‍රගත නැහැ. තමාට සුවිශේෂී වූ සැලකිල්ලක් නැහැ. ප්‍රශ්නයකට විසඳුම් සෙවීමේදී තමාට වාසි සහගත ලෙස එය විසඳන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒකීය වූ චින්තනය කාටත් සාධාරණ වූ, පරාර්ථකාමී වූ සහ පොදු ජන හිතකාමී වූවක්. එවැනි චින්තනයක් පවතින කෙනෙක් ජීවත් වන්නේ සමස්තයේ කොටසක් වශයෙන් මිස සමස්තයෙන් වෙන්වූ ස්වයං–කේන්ද්‍රීය ඒකකයක් වශයෙන් නෙවි. ඒ නිසා හැමවිටම කටයුතු කරන්නේ පොදු යහපත අරමුණු කර කරගෙන. එවැනි පිරිසිදු සිතක් ශක්තිමත්. එවැනි සිතක සාමය, සැනසීම සහ මානසික සුවය පවතිනවා. එබඳු සිතක ආතතිය ඇතිවෙන්න විදියක් නැහැ.
සිත එහි මූලික පිරිසුදුකමට පත්කිරීමට විවිධ ක්‍රමවේද යොදාගන්න පුළුවන්. බටහිර සමාජය තුළ භාවිතා වන මෙවැනි ක්‍රමවේද අතර භාවනාව, ආධ්‍යාත්මීය සංගීතය, සාමූහික හැසිරීම දියුණු වන ආකාරයේ ක්‍රීඩා, ආධ්‍යාත්මික මනෝ චිකිත්සක ක්‍රම සහ කිසිදු ආකාරයක ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී පොදු යහපත සඳහා සේවය කිරීම වැදගත් වෙනවා. අනුගමනය කරන ක්‍රමවේදයය කුමක් වුවත් ඒ මගින් සිත එහි මූලික පිරිසිදු තත්ත්වයට රැගෙන එන්න පුළුවන් නම් එවිට මානසික් සුවය අත්විඳින්න පුළුවන්. ඒ බව විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ කොට තියෙනවා.
එසේනම් මනුෂ්‍යයන් වශයෙන් අපට උරුම වූ මානසික සුවය අහිමි වී ඒ වෙනුවට මානසික් ආතතිය ඇති වීමට මූලික හේතුව අප සිතෙහි මූලික පිරිසිදුකම නැති වීම බව පිළිගන්න සිදු වෙනවා. මානසික ආතතියෙන් පීඩා විඳින කෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර මගින් සහනයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම භාවනාව වැනි සිත එහි මූලික පිරිසුදු බවට පත්කරන ක්‍රමවේද මගිනුත් සහනනයක් ලබාගන්න පුළුවන්. එසේ වුවත් සිත නිරන්තරයෙන් අපිරිසිදු වීමට හේතුවන මූලික සාධකය ඇතුළාන්තයේ පවතින තාක්කල් නැවත නැවතත් මානසික ආතතියට ගොදුරු වීම වළක්වන්න බැහැ. ඒ නිසා බාහිර ක්‍රමවලින් ලබන සහනය තාවකාලිකයි. භාවනා කිරීම් මගින් සිත පිරිසිදු කිරීමෙන් ආතතියෙන් මිදී මානසික සුවය විඳිය හැකි නමුත් කාර්යබහුල ජීවිතයක් ගත කරන වැඩි දෙනකුට භාවනා කිරීම සඳහා දිනපතා පැය කීපයක් වෙන් කිරීම ප්‍රායෝගික නැහැ.
ආතතියට ගොදුරු නොවී සුපුරුදු කාර්යබහුල ජීවිතය ගත කිරීමට නම් සිතෙහි මූලික පිරිසිදු බවට හානියක් නොවන ආකාරයට අදාල කාර්යන්හි යෙදීමට ඉඩ සලසන ක්‍රමයක් හොයාගන්න ඕන. මෙන්න මෙතෙන්දි තමයි වැදගත් වෙන්නේ විවිධ කාර්යයන්හි යෙදී සිටින අතරම තම සිත දෙස පරීක්ෂාවෙන් බලා සිටිම, එනම් විපස්සනාව. විපස්සනාව සඳහා අනෙක් සම්ප්‍රදායික සමත භාවනා ක්‍රමවල දී මෙන් වෙනම කාලයක් සහ තැනක් වෙන් කරන්න ඕනෙ නැහැ. එය සාමාන්‍ය කාර්යබහුල ජීවිතේ දී ප්‍රගුණ කරන්න පුළුවන්. එයයි එහි විශේෂත්වය. මෙය ආරම්භයේ දී අසීරු කාර්යයක්. මන්ද, ළමා කාලයේ සිටම අපේ හිත පුරුදු කරලා තියෙන්නේ බාහිර ලෝකය දෙස විමසිල්ලෙන් බලන්න මිස, අපේම ඇතුළාන්තය දෙස විමසිල්ලෙන් බලන්න නෙවේ. නමුත් මෙය ටික ටික පුරුදු කරන්න පුළුවන්. හොඳට පුරුදු වුණාම කාර්යබහුල වෙලාවක වුවත්, වැඩෙහි යෙදී ඉන්න අතරම තම සිත තුළ සිදුවන දේ පිළිබඳව සිහියෙන් ඒ කියන්නේ අවධානයෙන් ඉන්න පුළුවන්.
මේ විදියට උත්සාහ කරලා බලන්න පුළුවන්. මුලින්ම වැඩ පටන් ගන්න කලින් කුමන හෝ තමාට පහසු ක්‍රමයකින් සිත සන්සුන් කරලා එය එහි මූලික පිරිසිදු තත්ත්වයට පත්කර ගන්නවා. ඒ ක්‍රමය, භාවනා කිරීම, ළයාන්විත සංගීතයකට සවන්දීම හෝ යාච්ඤා කිරීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භක්ති ගීත ගායනායක් වෙන්නත් පුළුවන්. ක්‍රමය කුමක් වුවත් ඒ මගින් සිත නිවෙනවා නම්, පිරිසිදු වෙනවා නම් එපමණයි අවශ්‍ය. දැන් ඒ පිරිසිදු වූ සිතට ඊට ආවේණික වූ මානසික සුවය දැනෙනවා. දැන් මානසික සුවය අත්විඳිමින් ඒ පිළිබඳව අවධානය සහිතව ඔබේ දෛනික වැඩ කටයුතුවල යෙදෙනවා. ඔබ සේවය කරන ස්ථානයේ, ඔබේ නිවසේ හෝ සමාජයේ වෙනත් ස්ථානයක වැඩෙහි යෙදී සිටින විට ඔබට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. අන්‍යයන් සමඟ ගැටුම්කාරී තත්ත්වයන්ට මූණ දෙන්න සිදුවෙනවා. එතකොට ඔබේ සිත එහි මූලික පිරිසිදු බවෙන් ඈත්වෙනවා. සිත අපිරිසිදු වෙනවා. ඒ කියන්නේ පිරිසිදු සිතක නොතිබිය යුතු බාහිර දේවල් ඊට ඇතුල් වෙනවා. ඒවා අතර තරහ, වෛරය, දුක, කලකිරීම, සාංකාව, කනස්සල්ල සහ භය ආදිය තියෙන්න පුළුවන්. මෙලෙස සිත අපිරිසිදු වන විට එතෙක් ඔබ ලැබූ මානසික සුවය නැති වෙනවා. මානසික ආතතිය ඇති වීමට ආසන්න වෙනවා.
එසේ වූවත්, ඔබ තම ඇතුළාන්තයේ සිදුවන දේ පිළිබඳව තවමත් අවධානයෙන් ඉන්නවා නම් ඒ කියන්නේ තවමත් සිහියෙන් ඉන්නවා නම් දැන් ඔබට දැනෙනවා ඔබ එතෙක් විඳි මානසික සුවය නැති වුණු බව. ඒ කියන්නේ මානසික ආතතිය හටගැනීමට ආසන්න බව. ඇතුළාන්තයේ සිදුවන මෙම කලබලකාරී තත්ත්වය ඒ කියන්නේ ඔබේ මානසික පීඩනය පිළිබඳව ඔබ දිගටම අවධානයෙන් ඉන්න ඕන. පරීක්ෂාවෙන් ඉන්න ඕන. ඒ කියන්නේ සිහියෙන් ඉන්න ඕන. වෙනත් විදියකට කියනවා නම් වැඩ කරන අතර ඔබ විපස්සනාව වඩන්න ඕන. එහෙම කළොත් ඔබ තුළ ඇති වූ එම කලබලකාරී තත්ත්වය ටික ටික සංසිඳී යන ආකාරය ඔබටම දකින්න පුළුවන් වෙනවා. එය මානසික ආතතිය දක්වා වර්ධනය වෙන්නේ නැහැ. එය ඔබේ පාලනයෙන් බැහැර වන්නේ නැහැ. එහෙත් ඔබට ඔබේ ඇතුළාන්තයේ සිදුවෙමින් පවතින කලබලකාරී තත්ත්වය පිළිබඳව අවධානයෙන්, පරීක්ෂාවෙන් හෝ ඒ පිළිබඳව සිහියෙන් සිටීමට නොහැකි වුවහොත් තත්ත්වය වෙනස්. එවිට ඇතුළාන්තයේ කලබලකාරී තත්ත්වය සහ ඉන් ඇතිවන මානසික් පීඩනය සීඝ්‍රයෙන් වැඩි වෙනවා. වැඩිවන මානසික පීඩනය ඔබේ පාලනයෙන් ඔබ්බට යනවා.
ඔබ ඒ පීඩාකාරී තත්ත්වයට, ඒ කියන්නේ මානසික ආතතියට ගොදුරු වෙනවා.
කරුණු මෙසේ නම්, මානසික ආතතියට ගොදුරු නොවී සිටීම සඳහා අප කළ යුත්තේ කාර්යබහුල ජීවිතය ගත කරන අතරම අපේ සිතෙහි මූලික පිරිසුදු බව ආරක්ෂා කර ගැනීමයි. විපස්සනාව ඊට යොදාගගත හැකි ක්‍රමවේදයක්. කෙනෙකුගේ ආගම කුමක්ද යන්න මීට අදාළ වන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට මෙය තමා තුළින් අත්හදා බලන්න පුළුවන්.
By Dr. Rohana Ulluvisheva