fbpx
9.2 C
New Zealand
Monday, July 1, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සිල්වත් බව, මනුස්සකම සහ ආධ්‍යාත්මික දියුණුව. විද්‍යාත්මක හා තාර්කික දැක්මක් | ආචාර්ය රෝහණ උල්ලුවිස්හේවා | පාමස්ටන් නෝර්ත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සම්ප්‍රදායික ශ්‍රී ලාංකික සමාජයේ බාහිරව පෙනෙන (හෝ පෙන්වන) සිල්වත් බවට හා ගුණවත් බවට ලොකු වටිනාකමක් දෙනවා. ඒ කියන්නෙ බොහෝ දෙනෙක් කැමතියි තමන් අන් අයට වඩා සිල්වත් හා ගුණවත් බව පෙන්වන්න. ඒ නිසාම උත්සාහයෙන් හා කෘතීමව සිල්වත් හා ගුණවත් වෙන්න උත්සාහ කරනවා. මෙම උත්සාහයේදි පුද්ගලයාගේ මමත්වය පෝෂණය වෙනවා. ආධ්‍යාත්මිකව පිරිහෙනවා. මනුස්සකම අඩුවෙනවා. අනික් අතට පුද්ගලයෙක් ආධ්‍යාත්මිකව දියුණුවන විට පුද්ගලයා නිරුත්සාහයෙන්ම සිල්වත් හා ගුණවත් වෙනවා.  මනුස්සකම ඒ පුද්ගලයා තුළින් මතුවෙනවා. මෙම රචකයා කාලයක් තිස්සේ තම ඇතුළාන්තය නිරීක්ෂකය කිරීමෙන් ලද අවබෝධය විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ තාර්කිකව ඉදිරිපත් කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි.

ආධ්‍යාත්මිකව දියුණු වනවිට සිදුවන්නේ සිත එහි මූලික පිරිසිදු බවට පත්වීමයි. බාහිර වශයෙන් එකතු වූ විවිධ අපද්‍රව්‍ය නිසා අපවිත්‍ර වූ ජලයෙන් සියලු අපද්‍රව්‍ය ඉවත් කළ විට එය එහි මූලික පිරිසිදු බවට පත්වෙන ආකාරයටම සිතට බාහිර වශයෙන් එකතුවූ එයට අයිති නැති, එහි කොටස් නෙවන ‘අපද්‍රව්‍ය’ වන ‘කැමති-අකමැති’, ‘ආශාව-භය’ සහ ඒ සමග ඇතිවන මමත්වයත් ඉවත් කළ විට සිත එහි මූලික පිරිසිදු තත්ත්වයට පත්වෙනවා. ඒ කියන්නෙ මෙම මූලික පිරිසිදු තත්ත්වය අපි හැම කෙනෙක් තුළම විභව වශයෙන් පවතිනවා. මමත්වය නැති මෙම පිරිසිදු සිතෙහි මම සහ මම නොවන යන බෙදීම නැහැ. එහි පවතින්නෙ ඒකත්වයක් (Oneness). එබදු සිතක් එදිනෙදා ජීවිතයේ තීරණ ගැනීම්වල දී තමාටත් අන්‍යයන්ටත් එක සමාන ප්‍රමුඛත්වයක් දෙනවා. එබදු සිතක ආත්මාර්ථකාමිත්වය නැහැ. එම පිරිසිදු සිත පරාර්ථකාමීයි. ඒ වගේම මෙම පිරිසිදු සිත නිවුන සිතක්. එහි සතුට, සැනසීම හා සාමය පවතිනවා. එය ප්‍රඥාවන්තයි. මෙය සෑම ආගමකම පිළිගනු ලබන සත්‍යයක්. උදාහරණ වශයෙන් පිරිසිදු සිතට ආවේණික මෙම උතුම් ස්වභාවය එනම් ‘බුද්ධ ස්වභාවය’ සෑම පුද්ගලයෙක් තුළම පවතින බව බෞද්ධ දර්ශනය පිළිබද මූලික ග්‍රන්ථවල සදහන් වන අතර ‘ස්වර්ග රාජ්‍යය’ සෑම පුද්ගලයෙක් තුළම පවතින බව බයිබලයේ සදහන් වෙනවා. ඒ වගේම බ්‍රහ්මන් හෙවත් දෙවියන් වහන්සේ අප හැම කෙනෙක් තුළම වැඩ සිටිනා බව භගවත්ගීතයෙහි සදහන් වෙනවා.

ඇතුළාන්නයේ විභව වශයෙන් මෙවැනි ශුද්ධ වූ තත්ත්වයක් පවතින බව ස්නායු විද්‍යාත්මක (neuroscience) සක්ෂි මගින් ද තහවුරු කර තියනවා. උදාහරණ වශයෙන් අන්‍යයන් ඔබට කෙසේ සැළකිය යුතු ද යයි ඔබ බලාපොරොත්තු වන්නෙ ද ඔබත් ඒ ආකාරයටම අන්‍යයන්ට සැළකිය යුතුය යන ස්වර්ණමය නීතිය (Golden Rule) මෙන්ම ඊට පදනම් වූ ඒකත්වය සහ පරාර්ථකාමිත්වය මිනිස් මොළයේ දෘඩව රැහැනීකරනය කර (hardwired) ඇති බවත් මනුෂ්‍ය ස්වභාවය ආත්මර්ථකාමිත්වය නොව පරාර්ථකාමිත්වය බවත් ස්නායු විද්‍යාවේ නවතම පර්යේෂණවලින් පෙන්වා දෙනවා. එමෙන්ම අන්‍යයන්ගේ දුක තම දුකක් ආකාරයෙන්ම තමන්ට දැනෙන අයුරු මොළය නිර්මාණය වී ඇති බවට ‘දර්පනතල මොළ සෛල’ (Mirror Neurons) වශයෙන් හදුන්වනු ලබන මෑතකදී සොයාගනු ලැබූ මොළ සෛල සාක්ෂි සපයනවා.

ආධ්‍යාමිකත්වය යනු, එම වචනයේ සංස්කෘත මූලාශ්‍රවලට අනුව පුද්ගලයෙකුට එළඹිය හැකි උතුම්ම තත්ත්වයට එළඹීම යි. එම උතුම්ම තත්ත්වය අප තුළ ස්වාභාවිකව විභව වශයෙන් පවතින මෙම මනුස්සකමයි. එය සාක්ෂාත් කරගැනීමම ආධ්‍යාත්මික දියුණුවයි. මේ සදහා විවිධ ක්‍රමවේද විවිධ ආගම් මගින් පෙන්වා දී තිබෙනවා. ඊට අමතරව   නවීන විද්‍යාව මත පදනම් වූ නිරාගමික ක්‍රමවේද බටහිර රටවල සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතිනවා. ක්‍රමවේදය කුමක් වුවත් ඉන් සිදුවන්නේ අපේ සිත එහි මූලික පිරිසිදු බවට පත්වීමෙන් අපට ආවේණික වූ මනුෂ්‍යත්වය අපේ සිතුවිලි හා ක්‍රියකාරකම් තුළින් ඉස්මතු වීමත් එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි නිරුත්සාහයෙන්ම සිල්වත් හා ගුණවත් වීමත්ය. ආධ්‍යාත්මිකව දියුණු වීමට අදාළ ක්‍රමවේද අනුගමනය නොකොට, තම ඇතුලාන්තයේ අපවිත්‍ර බව එලෙසම තිබිය දී සිල්වත් බවට සහ ගුණවත් බවට දෙන සමාජීය වටිනාකම හා ගෞරවය නිසා සමාජයෙන් ගෞරවය ලැබීම හා ඉන් ලැබිය හැකි වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් හෝ ඒ මගින් අනාගතයේ දී හෝ මරණින් පසු ලැබිය හැකියයි විශ්වාස කරන ප්‍රතිලාහ අපේක්ෂාවෙන් කෘතීමව සිල්වත් වීමට හෝ ගුණවත් වීමට උත්සාහ දැරීම මමත්වය තවදුරටත් පෝෂණය වීමටත් ආධ්‍යාත්මිකව  පිරිහීමටත් හේතුවන්න පුළුවන්.

උදාහරණ වශයෙන් පුද්ගලයෙක් තම සිත ආශාවන්ගෙන් සහ මමත්වයෙන් අපිරිසිදු වී තිබියදී උත්සාහයෙන් සිල් රකිමින් කෘතීමව සිල්වතෙකු ලෙස ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට උත්සාහ දරන්න පුළුවන්. එවිට ඒ පුද්ගලයා තමා සිල්වතෙකු ලෙස ප්‍රතිරූපයක් ගොඩනගමින් තම මමත්වය පෝෂණය කරනවා. තමා සිල් නොරකින අන්‍යයන්ට වඩා උසස් පුද්ගලයෙකු ලෙස හිතන්න පෙළඹෙනවා. ඒ වගේම තමාගේ සීලය නොරකින අන්‍යයන් තමාට වඩා පහත් කරලා හිතනවා. මෙලෙස පෝෂණය වන මමත්නව නිසා ඒ පුද්ගලයා තුළ ස්වාභාවිකව පවතින පරාර්ථකාමිත්වය යටපත්වෙනවා. ආත්මාර්ථකාමී වෙනවා. ආධ්‍යාත්මිකව  පිරිහෙනවා. මනුස්සකම නැතිවෙනවා. උදාහරණ වශයෙන් කෙනෙක්  සීලයක් වශයෙන් සුරා පානයෙන්, මස් මාංශ අනුහවයෙන් හෝ මදුරුවෙක්වත් මැරීමෙන් හෝ වැළකී සිටින විට හෝ දන් දීමෙන් හෝ පරිත්‍යාගශීලී වීමෙන් සත්ගුණවත් වීමට උත්සාහ දරන විට මෙය සිදුවන්න පුළුවන්. එබදු පුද්ගලයෙක් තම සිත අපක්ෂපාතීව සහ විනිශ්චය කිරීමෙන් තොරව (non-judgmentally) නිරීක්ෂණය කළහොත් මෙහි සත්‍යය තමා තුළින්ම දකින්න පුළුවන්. ආශාවන් හා භය මගින් මෙහෙයවනු ලබන පාරිශුද්ධ නොවූ තම සිත සිල් රැකීමට සහ සත්ගුණවත් වීමට තමා පොළඹ වන ආකාරයත් එසේ වීමට දරණ උත්සාහය තුළින් තම මමත්වය වැඩෙන ආකාරයත් ඒ මගින් තම සිතුවිලි සහ ක්‍රියාකාරකම් ආත්මාර්ථකාමීවන ආකාරයත් එහි ප්‍රතිඵලයක් වශයෙන් මනුස්සකම් තමා තුළින් ගිලිහී යන ආකාරයත් තම ඇතුලාන්තයේ ස්වාභාවිකව පවතින නිවුන බව, සැනසීම සහ සතුට තමාට අහිමි වන ආකාරයත් දැක, ඊට මූලික හේතුව ආශාව, භය සහ මමත්වය මගින් අපිරිසිදු වූ තම සිතමය යන සත්‍යය තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මෙය ප්‍රත්‍යක්ෂ වීම සමග ආශාවන්, භය සහ මමත්වය ක්‍රමක්‍රමයෙන් බල රහිත වීමටත් සිත එහි මූලික පිරිසිදු තත්ත්වයට පත්වීමටත් පටන් ගන්නවා. එවිට පුද්ගලයා තුළින් මූලික පිරිසිදු සිතකට ආවේණික වූ සිල්වත් බව, ගුණවත් බව හා මනුස්සකම නිරුත්සාහයෙන්ම ස්වාභාවිකවම මතුවෙන්න පටන් ගන්නවා. මෙම සිල්වත් බව, ගුණවත් බව හා මනුස්සකම යනු සිල්වතුන් හා ගුණවතුන් වශයෙන් සමාජයෙන් ගෞරව ලැබීමට හෝ මරණින් පසු ජීවිතයක දී ලැබිය හැකි ප්‍රතිලාභවලට ඇති ආශාව වැනි බාහිර හේතු නිසා හටගන්නා ලක්ෂණ නොව මූලික පිරිසිදු සිතට ආවේණික වූ මනුෂ්‍යයින් වශයෙන් අපට උරුමවූ ලක්ෂණ සමුදායක්. නමුත් මෙය සාක්ෂාත් කරගැනීම ලේසි නැහැ. මොකද අපි වැඩිදෙනා පුරුදුවෙලා ඉන්නේ අන්‍යයන් නිරීක්ෂනය කොට අන්‍යයන්ගේ අඩුපාඩු සහ වැරදි සෙවීමට මිස තම ඇතුළාන්තය නිරීක්ෂනය කොට තම අඩුපාඩු සෙවීමට නොවන නිසා. ඒ වගේම තම ඇතුළාන්තය නිරීක්ෂණය කළත් එය අපක්ෂපාතව සහ විනිශ්චය කිරීමෙන් තොරව කිරීම අභියෝගාත්මකයි. මන්ද අපි හැමවිටම පුරුදු වී සිටින්නේ තමාට පක්ෂපාතව හිතන්න, තමා නිවැරිදිය යන මතයේම ඉන්න. ඒ වගේම අප දකින අපට හමුවන පුද්ගලයන් විනිශ්චය කරන්න. මේ පුරුද්ද  නිසා තම ඇතුළාන්තය නිරීක්ෂණය කරන විටදීත් තමා නොදැනුවත්වම තමාට පක්ෂපාතව නිරීක්ෂණය කරන්න පුළුවන්. තමා නොදැනුවත්වම විනිශ්චය කරන්න පුළුවන්. මේ නිසා මනාව සිහිය පැවැත් වීම අවශ්‍යයි තම ඇතුළාන්තය එහෙම නැත්නම් තම සිතිවිලි නිරීක්ෂණය කිරීමේදි.

කෙසේ වෙතත් තම සිත ආශාවන්, භය සහ මමත්වයෙන් අපිරිසිදුව තිබියදීම වුවද උත්සාහයෙන් සිල්වත් වීමට සහ ගුණවත් වීමට උත්සාහ කිරීම තම ආධ්‍යාත්මික දියුණුවට ලොකු දායකත්වයක් නොදැක්වුවත් සමාජයට යහපත් පුරවැසියන් බිහිකිරීම සදහා විශාල වශයෙන් දායක වන බව පිළිගන්න ඕන.

ආචාර්ය රෝහණ උල්ලුවිස්හේවා
පර්මස්ටන් නෝර්ත්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.