fbpx
10.5 C
New Zealand
Friday, September 13, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සැබෑම වෙනස… අධ්‍යාත්මික දෘෂ්ටිකෝණයකින් | ආචාර්‍යය රෝහණ උල්ලුවිස්හේවා | පාමස්ටන්නෝත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘ලෝකයට අවශ්‍ය වන්නේ ආර්ත්මාර්ථකාමිකත්වයෙන් පරාර්ථකාමිත්වයට, තෘෂ්ණාවෙන්  පරිත්‍යාගශීලි බවට, ගැටුමෙන් සහජීවනයටය, වෛරයෙන් ආදරයටය, ‘මගෙ’ න් ‘අප’ට  වන වෙනස් වීමකි’- තම Spirituality Demystified නම් පොතෙහි යළි ඉදිරිපත් කරන මෙම කාරණය ගැන ලිපි ලේඛන, පොතපත රාශියක් ලියා ඇති ආචාර්යය රෝහණ උල්ලුවිස්හේවා මහතා ශ්‍රී ලංකන්ස් වෙත සපයන තවත් ලිපියක් ස්තුති පූර්වකව මෙසේ පළ කරමු.

අපට සැබෑ වෙනසක අවශ්‍යතාවය දැන් කවුරුත් වගේ පිළිගන්නවා. අපි බොහෝ දෙනෙක් ඒ වෙනස බලාපොරොත්තු වෙන්නෙ තම තමන් වෙනස් වීමෙන් නොවේ. නායකයො වෙනස් කිරීමෙන්. ඒ බලාපොරොත්තුවෙන් නායකයො වෙනස් කරනවා. නමුත් බලාපොරොත්තු වන වෙනස ලැබෙන්නෙ නැහැ. එතකොට ඒ නායකයට විරුද්ධව රැල්ලක් හදලා හෝ ඡන්දයෙන් හෝ අරගලයකින් එයාව ඉවත් කරලා වෙන නායකයෙක් පත්කර ගන්නවා. මේක අපි දැන් දශක හතකට වැඩි කාලයක් තිස්සේ කළා. නමුත් තවමත් බලාපොරොත්තුවන සැබෑ වෙනස  ලැබුනෙ නැහැ. අපි බලාපොරොත්තුවන සැබෑ වෙනස අධ්‍යාත්මික දෘෂ්ටිකෝණයකින් විශ්ලේෂණය කොට විසදුමක් සෙවීම මෙම කෙටි ලිපියේ අරමුණයි.

මම’කේන්ද්‍රගත මානසිකත්වය. 

අපි හැම හැම කෙනෙක්ම වගේ බොහෝ විට හිතන්නෙත් ක්‍රියාකරන්නෙත් තම තමන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට. තමන්ට ප්‍රමුඛත්වය ලැබෙන ආකාරයට. ගෙදරදිත් වැඩ කරන තැනදිත් වගේම සමාජයේ හැසිරෙන විටදිත් මෙය සිදු වෙන්න පුළුවන්. එතකොට තමා දැනුවත්ව හෝ නොදැනුවත්ව තවත් කෙනෙකුට ඉන් අකටයුත්තක් සිදුවෙන්න පුළුවන්. අසාධාරණයක් සිදුවෙන්න පුළුවන්.

  • නමුත් එතෙන්දි අපේ මම කේන්ද්‍රගත මානසිකත්වය තම ක්‍රියාව සාධාරනීකරණය කරනවා. ඒ පිණිස විවිධ කරුණු ඉදිරිපත් කරනවා.
  • අනික් අතට වෙනත් කෙනෙකුගේ එවැනිම හැසිරීමකින් තමාට අසාධාරණයක් හෝ  අකටයුත්තක් වූ විට තම මම කේන්ද්‍රගත මානසිකත්වය තමාට සාධාරණය ඉටුකර ගැනීම සදහා සටන් කිරීමට තමාව පොළඹවනවා.

ඒ කියන්නේ පුද්ගලයෙක් තමාටත් අනෙකාටත් සලකන්නේ එකිනෙකට වෙනස් වූ දෙ-ආකාරයකින්. මම කේන්ද්‍රගත මානසිකකත්වයේ මේ ආකාරයේ ද්වි-ස්වභාවයක් නැත්නම් දෙබිඩි ස්වභාවයක් පවතිනවා. තම හිත වැඩකරන ආකාරය පූර්ණ අවධානයෙන් නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට මෙය දැකගන්න පුළුවන්.

මේ ස්වභාවය තරමක් දුරට අවශ්‍ය වෙන්න පුළුවන් පුද්ගලයාගේ පැවැත්මට. නමුත් එය ආත්මාර්ථකාමිත්වය දක්වා වර්ධනය වීම ප්‍රශ්නයක්. එහි විපාක ආත්මාර්ථකාමී පුද්ගලයින් බහුල සමාජවල ජීවත් වන විට අපට දැනෙනවා. වෘත්තිකයන් තුළ පවතින මෙම දෙබිඩි මානසිකත්වය ඔවුන්ගෙන් සේවය ලබන පිරිසටත් පොදුවේ ආර්ථිකයටත් හානි කරනවා. එබදු සමාජවලට හා රටවලට ලැබෙන්නෙත් ඒ වගේම ආත්මාර්ථකාමී පාලකයො. මන්ද ඒ නායකයො බිහිවෙන්නෙත් ඒ ආත්මාර්ථකාමී පුද්ගලයින් අතරින්මයි. ඒ අතරින් වඩාත් කපටි ආත්මාර්ථකාමී පුද්ගලයන්ට පමණයි එවැනි සමාජයක නායකයින් වෙන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම ආත්මාර්ථකාමී ඡන්ද දායකයො තම ඡන්දය පාවිචිචි කරන්නෙ තමාගේ කෙටි කාලීන වාසිය සදහා මිස සමස්ථයේ දිගු කාලීන යහපත සදහා නොවේ. එවැනි ඡන්ද දායකයො නිකම්ම ‘රැල්ලට’ අහුවෙනවා. එවැනි ‘රැලි’ වලින් නායකයො වෙනස් කළාට බලාපොරොත්තුවන ආකාරයේ ‘සැබෑ වෙනසක්’ ඇතිවන්නෙ නැහැ.

ස්නායු විද්‍යාත්මකව (neuroscience) පර්යේෂණ පෙන්වන සත්‍යය.
උපතින් සෑම කෙනෙකුම පරාර්ථකාමී බව.

 

මේ අගාධයෙන් ගොඩ ඒමට අවංකවම උත්සාහ  දරණ ප්‍රඥෙවන්තයින්ට සුභාරංචියක් සපයනවා නවීන විද්‍යාව මගින්. ඒ සුභාරංචිය තමයි මෙම විනාශකාරී වූ ආත්මාර්ථකාමිත්වයට මුල් වූ මමත්වය අපට ආවේණික නොවූවක් බවත් අපට ආවේණික වූ ඒකත්වය සහ ඉන් මතුවන පරාර්ථකාමිත්වය බවත් සහ අපට ආවේණික නොවූ ආත්මාර්ථකාමිත්වය පිටුදැක අපට ආවේණික වූ පරාර්ථකාමිත්වය මතුකරගෙන සැබෑ මනුෂ්‍යයින් වීමට සෑම පුද්ගලයෙකුටම විභව වශයෙන් හැකියාව තිබෙන බව. සෑම පුද්ගලයෙකුගේම මොළයේ ඒකත්වය උප්පත්තියෙන්ම මුල් බැසගෙන එනම් දෘඩව රැහැනීකරණය වී ඇති බවත් ඒ නිසා සෑම කෙනෙක්ම ‘ස්වාභාවිකවම’ පරාර්ථකාමී බවත් ස්නායු විද්‍යාත්මක (neuroscience) පර්යේෂණ මගින් පෙන්වා දී තියනවා. එවැනිම පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා අප වැඩිදෙනෙකුගේ හැසිරීමේ පවතින ද්වි-ස්වභාවය හෙවත් දෙබිඩිබවට ප්‍රතිවිරුද්ධ වූ ඒකත්වය මිනිස් මොළයේ දෘඩව රැහැනීකරණයවී ඇති බවත් ඒ නිසා අපට ආවේණික වූ හැසිරීම ඒකත්ව හැසිරීම බව. ඒකත්ව හැසිරීම අවධාරණය කරනවා සෑම ආගමක්ම පිළිගන්නා ස්වර්ණමය නීතිය (Golden Rule) මගින්. එනම් ‘අන්‍යයන් තමාට කුමන ආකාරයකින් සැලකිය යුතු යයි ඔබ අපේක්ෂා කරන්නේද ඔබත් ඒ ආකාරයෙන්ම අන්‍යයන්ට සැලකිය යුතුය’ යන මූලධර්මය. මෙම කරුණ වෙනත් විදියකට පැහැදිලි කරනවා නම්

මනුෂ්‍යයින් වශයෙන් අප නිර්මාණය වී තිබෙන්නේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතුවල දී තමාට දෙන ප්‍රමුඛත්වයම අන්‍යයින්ටත් දෙන්නයි. ඒ කියන්නෙ ආත්මාර්ථකාමිත්වයෙන් තොරව ජීවත් වීමයි. ඒ ආකාරයට ජීවත්වන පුද්ගලයින් අන් අයට වඩා නිරෝගීව, අන් අයට වඩා සතුටින් සහ අන් අයට වඩා දීර්ඝ කාලයක් ජීවත්වන බවත් පර්යේෂණ මගින් පෙන්වා දී තියනවා. එයම සාක්ෂියක් වෙනවා අප නිර්මාණය වී තිබෙන්නේ පරාර්ථකාමීව ජීවත් වීමට බවට. පෙට්‍රල්වලින් දුවන්න හදපු වාහනයකට බූමි තෙල් හෝ ඩීසල් දැමිමොත් එය ඉක්මනින් ලෙඩ වෙනවා වගේ පරාර්ථකාමීව ජීවත් වෙන්න නිර්මාණය කරපු අපි ආත්මාර්ථකාමීව ජීවත් වෙනවිට පරාර්ථකාමීව ජීවත්වන අයට වඩා ඉක්මනින් කායිකව සහ මානසිකව ලෙඩ වෙනවා.

 

මමත්වය මනෝමය මායාවකි.

අනෙක් අතට මමත්වය බාහිර හේතු සමුදායක් නිසා හටගත් ඇත්ත වශයෙන් නොපවතින මනෝමය මායාවක් සුපරීක්ෂාවෙන් අධ්‍යයනය කරන කරන කෙනෙකුට දැකගන්න පුළුවන්.

මමත්වය ගොඩනැගෙන්නේ වරක් ශාරීරිකව හෝ මානසිකව විදින ලද ආශ්වාදජනක අත්දැකීමක් නැවත නැවතත් විදීමට ඇති ආශාවත් වරක එලෙසම විදින ලද වේදනාවක් නැවත විදීමට ඇති බියත් නිසා බව එවිට දැකගන්න පුළුවන්.

එම ආශාවන් අතර මුදල් හා ද්‍රව්‍යමය දේපලවලට මෙන්ම සමාජ තත්ත්වය, බලය, සමාජ පිළිගැනීම, ගෞරවය, නම්බුව, කීර්තිය හා ප්‍රසිද්ධිය වැනි ද්‍රව්‍යමය නොවන දේවලට ඇති ආශාවන් ද තියෙන්න පුළුවන්. මේ බොහෝ අශාවන් කිසිම යථාර්ථයක් නැති සිතින් හදා ගන්නා ලද ආශාවන්. ඒවා බොහොමයක්ම තෘප්තිමත් කරලා ඉවර කරන්න බැහැ. ඒ වගේම ඒවා තෘප්තිමත් කිරීමෙන් පුද්ගලයාගේ ශාරීරික හෝ මානසික සෞඛ්‍යයට හානියක් මිස කිසිම දායකත්වයක් ලැබෙන්නෙ නැහැ. කෙනෙකුට තම සමාජ තත්ත්වය, ජනප්‍රිය බව හා ප්‍රසිද්ධිය අතින් අන් අයට වඩා ඉහළින් බැබළෙන්න ඇතිවන ආශාව සහ අන් අයට වඩා වටිනා හා උසස් යයි සම්මත මෝටර් රථයක් හෝ නිවසක් හිමිකරගැනීමට ඇති ආශාව මීට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.

මමත්වය ගොඩනගා ගැනීමේ දී තම උගත්කම, දරණ තනතුර, ආගම, ජාතිය, කුලය, දරණ දේශපාලන මතවාද හා කැමති දේශපාලන පක්ෂය හා කැමති ක්‍රීඩා කණ්ඩායම ආදිය තම අනන්න්‍යතාවයට සම්බන්ධ කරගෙන තමා අන්‍යයන්ගෙන් වෙන් වූ ඒකකයක් බවට පත් කරගන්නවා. සමස්තයෙන් වෙන්වෙනවා.

මේ ආකාරයට ගොඩනගා ගන්නා ලද මමත්වය නඩත්තු කරන්න විශාල සටනක් කරන්න සිදුවෙනවා. මේ සටනේ යෙදී ඉන්න විට නොදැනුවත්වම තමා ආත්මාර්ථකාමී වෙනවා. මමත්වය කේන්ද්‍රගත මානසිකත්වයක් තමා තුළ ගොඩනැගෙනවා. ඒකත්වයෙන් දුරස් වෙනවා.

 

ගැටුමෙහි හේතු ඉවත් කර ගැනිම.

මේ ආකාරයට මමත්වය බාහිර හේතු මගින් ගොඩනැගෙන්නක්. එහෙම නම් මමත්වය නිසා හටගන්නා සියලු ගැටුම් හා අසහනකාරී තත්ත්වයන් ගෙන් මිදෙන්න නම් එම හේතු ඉවත් කරන්න ඕන. හේතුව ඉවත් කළ විට එහි ඵලය වන මමත්වය නැතිවෙන්න ඕන. මෙන්න මෙතෙන්දි තමයි බුද්ධියෙන් ඔබ්බෙහි වූ ප්‍රඥාවෙහි අවශ්‍යතාවය මතුවෙන්නෙ. මන්ද, ප්‍රඥාවෙන් සන්නද්ධ නොවුණ අපි හැම දෙනාම අසහනකාරී තත්ත්වයන් ගෙන් හිත කඩාවැටෙන විට ඊට හේතු තම ඇතුළාන්තය තුළින් ගවේෂණය කර හේතු වූ ආශාවන් ඉවත් කිරීම වෙනුවට බාහිර හේතු වශයෙන් පෙනෙන පුද්ගලයන් හෝ විවිධ දේ සමග පැටලෙනවා. ඔවුන්ට හෝ දේවලට දොස් පවරනවා. ඔවුන් හෝ ඒ දේවල් වෙනස් කරන්න උත්සාහ කරනවා. නමුත් ප්‍රඥාසම්පන්න පුද්ගලයා මීට වෙනස් මගක් අනුගමනය කරනවා. ඒ පුද්ගලයා එම අසහනකාරී තත්ත්වය එහෙම නැත්නම් තමා තුළ ගොඩනැගෙන පීඩාකාරී දැනීම දෙස නිසොල්මන්ව සුපරීක්ෂාරීව පූර්ණ අවධානයෙන් බලාගෙන ඉන්නවා එය ඉබේම අඩු වී අවසන් වනතුරු. ඒ පීඩාකාරී තත්ත්වය යම්කිසි ආකාරයක බලාපොරොත්තු කඩවීමක්, ආශා කරන දෙයක් අහිමිවීමක්, තවත් කෙනෙක් කෙරෙහි වෛරයක්, තරහක් හෝ ඊර්ෂ්‍යාවක් හෝ භයක් වෙන්න පුළුවන්.

 

යළි පරාර්ථකාමිත්වයට.

එය කුමක් වුවත් ඊට ප්‍රතික්‍රියා කිරීමෙන් වැළකී පූර්ණ අවධානයෙන් පරීක්ෂාකාරීව බලා සිටින විට ඒ පීඩාකාරී තත්ත්වය ස්වාභාවිකවම සංසිදී යනවා. ඒ දෙස බලාසිටින අතරම එම පීඩාකාරී තත්ත්වයට හේතු ගවේෂණය කරන්නත් පුළුවන්. ඒ මගින් එම හේතුව තම සිත විසින්ම නිර්මාණය කොට එහිම තැන්පත් කරගෙන සිටින ආශාවක්ම බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්නත් පුළුවන්. තමා තුළ සිතිවිලි ක්‍රියාකාරී වන ආකාරය දෙස පූර්ණ අවධානයෙන් නිරීක්ෂණය කරන විට කෙනෙකුට දකින්න පුළුවන් තෘප්තිමත් වීමට අවස්ථාවන් සොයමින් තම මොළයෙහි පැලපදියම් වී සිටින විවිධ ආශාවන් තම සිතිවිලි මෙහෙයවන ආකාරයත් ඒ මෙහෙයවීම මගින් තම සිතිවිලි මමත්වය-කේන්ද්‍රගතවන ආකාරයත් සහ ආත්මාර්ථකාමීවන ආකාරයත්. ඒ වගේම දකින්න පුළුවන් ආත්මාර්ථකාමී වූ සිතිවිලි විවිධ පීඩාකාරී තත්ත්වයන් තමා තුළ ජනනය කරන ආකාරය. ඒ තත්ත්වයන් දෙස තව දුරටත් පූර්ණ අවධානයෙන් නිරීක්ෂණාත්මකව බලා සිටින විට දකින්න පුළුවන් ඒ පීඩාකාරී තත්ත්වය ස්වාභාවිකවම සංසිදීයන ආකාරයත් එවිට තමා තුළින් මමත්වය-කේන්ද්‍රගත ආත්මාර්ථකාමී සිතිවිලි මතුවීම නැවතී ඒ වෙනුවට සමස්තය  කේන්ද්‍රගත පරාර්ථකාමී සිතුවිලි මතුවීමට පටන් ගන්නා ආකාරයත්.  ඒ සිදුවන්නේ අප මොළයේ දෘඩව රැහැණිකරන වී පවතින අපට ආවේණික වූ ඒකත්වය, එය මෙතෙක් හිරවී තිබුණ බැමිවලින් නිදහස්ව, අප තුළින් මතු වීමයි. අප සැබෑ මනුෂ්‍යයින් බවට පත්වීමයි.

මෙය කියවන ඔබට මෙය තමා තුළින් අත්හදාබලන්න බැලීමෙන් මෙතෙක් සෙවූ සැබෑ වෙනස තමාට යථාර්ථයක් කරගන්න පුළුවන්.

ආචාර්‍යය රෝහණ උල්ලුවිස්හේවා
පාමස්ටන්නෝත්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.