පසුගිය කලාපයක මිනිසුන්ගේ මනසේ පවත්වාගෙන යනු ලබන ගති පුරුදු සහ හුරුපුරුදු ගැන සරල විස්තරයක් ඉදිරිපත් කළෙමි. ඒවායින් ‘හුරුපුරුදු’ එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමට කිසිදු ලෝබ, ද්වේශ, මෝහ සිතිවිල්ලක් මුල්කරගෙන, පුරුදු කරගෙන යනු ලබන දේවල් නොව, ඒවා අව්‍යාඛතව සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යාමට උපකාරීවන පුරුදුයි.
නමුත් එහිදී සඳහන් කළ ගති පුරුදු එවැනි ඒවා නොව මිනිසාගේ ගතිගුණ පෙන්නුම් කරන ලෝබ, ද්වේශ, මෝහ තුන මුල්කරගෙන අප පුරුද්දා ගත් පුරුදුයි.
මිනිසුන් මේ ආකාරයේ ගති පුරුදු සාදා ගන්නේ ශරීරයේ තිබෙන සය දොරින් නැත්නම් ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන යන ඉන්ද්‍රියන් ආයතන ලෙසින් භාවිතා කරමින් ඒ ආයතන ග්‍රහණය කරගනු ලබන ආරම්මන හෙවත් මන රමණය කරමින් ආයතන හය විසින් බාහිර රූපවලින් ලබාගන්නා තොරතුරු ලෙසට ගැනිය හැකි දත්ත අනුවයි. ඒ ගති විවිධ පුද්ගලයින් විවිධ ආකාරයකට මිස එකම ආකාරයෙන් සාදා නොගනී.
උදාහරණයක් ලෙසට, දූරියන් ගෙඩියක් දුටු විටක හෝ එහි සුවඳ දැනුන විටක එක් අයෙක් රස ප්‍රණීත සුවඳක් තිබෙන පළතුරක් ලෙසට එය ලෝබයෙන් බාරගන්නා අතර වෙනකෙක් එය ඉතා අමිහිරි අප්‍රසන්න රසක් සහ ගන්ධයක් ඇති දෙයක් ලෙසට ද්වේශයකින් අකැමැත්තකින් ඒ සමග ගැටෙන්නට පුලුවන. එතන සිදුවන ඇලීම ගැටීම යන දේවල් සිදුවූයේ ඒ ඒ පුද්ගලයින් ඊට කලින් ඒ ඒ රස සහ ගන්ධය පිළිබඳව ලෝබයෙන් හෝ ද්වේශයෙන් හදා ගත් ගති පුරුද්දකට අනුව වේ. නමුත් මෙතන අප තේරුම් ගෙන මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් එම දූරියන් ගෙඩියේ තිබෙන්නේ එකම රසයක් සහ ගන්ධයක් වුවද පුද්ගලයින් දෙදෙනෙකු එය භාර ගන්නේ වෙනස් වූ ආකාරයකට බවයි.
මිනිසුන් එදිනෙදා ලෝබයෙන් ද්වේශයෙන් ඇලෙන ගැටෙන සෑම රූප අරමුණක් සඳහාම ඒ ධර්මතාවය පොදු දෙයකි. එනම් වර්තමානයේ බාහිර පවතින සියලුම රූපී දේවල් එනම් අප කන බොන දේවල්, ඇසුරු කරන පුද්ගලයින්, ඇතුලු එදිනෙදා ජීවිතයේ භාවිතා කරන, මෙන්ම අපට හමුවන සබ්බසකලමනාවම පිළිබඳව ප්‍රිය හෝ අප්‍රිය ලෙස මනිමින් ඒවා භාර ගන්නේ අප තුළ කලින් තැන්පත් කර ගත් ගති පුරුදු වලට අනුව බවයි.
බුදුදහමේ පෙන්වා දෙනු ලබන්නේ මෙසේ අප තුළ ඇති ගතියකට අනුව එසේ බාහිර දේවල් අපගේ ප්‍රිය-අප්‍රිය කෝදුවට අනුව මනින්නේ අප තුළ පුරුදු කර ගත් ගතියක් වන මෝහය නිසාත් එසේ මනිමින් ප්‍රිය හෝ අප්‍රිය එක් අන්තයකට ඇලෙන්නේ හෝ ගැටෙන්නේ අප තුළ පුරුද්දාගෙන තිබෙන ලෝබ සහ ද්වේශ ගති දෙක නිසාත් බවයි.
මේ ලෝබ, ද්වේශ , මෝහ ගති ත්‍රිත්වය ‘තිංනං සං ගති’ නැතිනම් ‘කෙලෙස් ගති තුන’ ලෙස සඳහන් කර එය සත්ව පුද්ගලයින් ජීවිත කාලය පුරාවටම පුන පුනා බව හදමින් ඒ බව හෙවත් බීජ වලට අනුව ඊට අනුරූප ජාති හදමින් සං සාරයි කියමින් පවත්වාගෙනයනු ලබන සත්ව තත්වයට තුඩු දෙන ප්‍රධාන හේතු තුන බවයි.
මේ හේතු තුන හෙවත් ලෝබ, ද්වේශ, මෝහ ගති තුන සත්වයාගේ පැවැත්ම පිණිසම චිත්ත සංතානය තුළ පහසුවෙන් උදුරා දැමිය නොහැකි වන අයුරින් දීර්ඝ කාලයක් තිස්සේම පවත්වා ගෙන එමින් මුල් බස්සවා ගෙන තිබෙන බව බුදුදහමේ පෙන්වාදුනු ලබයි. එදිනෙදා මිනිසුන් සය දොරින්ම ලබන රූප අරමුණු, ප්‍රිය-අප්‍රිය අතර වැරදි ලෙස මනිමින් සංසන්දනය කරමින් ඒ මුල් බස්සවා ගෙන තිබෙන මෝහ මුල නැවත නැවතත් අලුත් කර ගනිමින් වඩවා ගනී. එයින් මිනිසුන්ගේ මනස නිරන්තරයෙන්ම කිලිටු කර ගනී.
එසේ මනිමින් එම රූප ආරම්මණයට ලෝබයෙන් ඇලීමක් හෝ ද්වේශයෙන් ගැටීමක් සිදුවෙමින් චිත්තය කිලිටු කර ගනී. මේ ඇලීම හෝ ගැටීමට බුදුදහමේ පටිච්ච වෙනවා යයි කියනු ලැබේ. පටි ඉච්ච යනු කැමැත්තෙන්ම බැඳීමයි . අරමුණකට ද්වේශයකිනුත් ගැටීමක් කරගනිමින් බැඳෙන්නේ ද කැමැත්තකින්මයි. එය ද්වේශයෙන් පටිච්ච වෙනවා යනුවෙන් කියවේ.
ඉදිරි ලිපියකින් බුදුදහමේ මේ පුන පුනා අරමුණුවලට පටිච්ච වෙමින් සත්වයින් හදා ගන්න බව හෙවත් ‘පුනබ්බව’ ලෙසින් සමුදය බිහි කර ගනිමින් සත්වයාගේ සසර ගමන ගෙන යාම පිළිබඳව බුද්ධ දේශනයේ පටිච්ච සමුප්පාද හෙවත් පටිච්ච වෙමින් සමුදය බිහි කර ගැනීම නැති නම් කෙලෙස් බව හදමින් පැවැත්ම ගෙන යාම ගැන විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.
නිමල් වන්නිගම – ඕක්ලන්ඩ්