fbpx
7 C
New Zealand
Monday, October 14, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අලුත් තාක්ෂණය, පරණ හිත සහ අධ්‍යාපනය | ආචාර්ය රෝහණ උල්ලුවිස්හේවා | පාමස්ටන් නෝර්ත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මුළු මිනිස් ඉතිහාසය පුරාම තාක්ෂණය අලුත් වෙමින් පැවතුනා. එය දැන් දිනපතාම ඉතා ශීඝ්‍රයෙන් අලුත් වෙනවා. මේ නවීන තාක්ෂණයෙන් මුළු මිනිස් වර්ගයාටම යහපතක් වෙන්න නම් තාක්ෂණයට සමගාමීව මිනිස් සිතත් අලුත් වෙන්න ඕන. එහෙත් එම තාක්ෂණය නිපදවන, පාලනය කරන හා භාවිතා කරනු ලබන මිනිසා ගේ සිත තවමත් අලුත්වෙලා නැහැ. අලුත් වෙන පාටකුත් නැහැ. පරණ ගෝත්‍රික සමාජ අවශ්‍යතාවයන්ට අනුව සකස් වුණ ඒ පරණ මිනිස් සිත දැන් අතිශයින් බලසම්පන්න වූ අලුත් තාක්ෂණයේ හිමිකරුවන් බවට පත්වීමේ අනතුරුදායක බවට අද මනුෂ්‍ය වර්ගයාම  මුහුණපා සිටිනවා. දිනපතා අපට ඇහෙන හා අපට දකින්න ලැබෙන ප්‍රවෘත්ති ඊට සාක්ෂි දරනවා. නූතන සමාජ අවශ්‍යතාවයන්ට අනුව සිත අලුත් නොවීමට හේතු ගවේෂණය කිරීම සහ එම හේතු ඉවත් කිරීම සදහා අප කුමක් කළ යුතු ද යන්න පැහැදිලි කිරීමත් මෙම කෙටි ලිපියේ අරමුණයි.

පරණ සිත.

පරණ සිත යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයාගේ සිතිවිලි හා ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන සිතේ අන්තර්ගතයෙහි පරණ බවයි. සිතේ අන්තර්ගතය කියන්නේ මතකයේ අන්තර්ගතයයි. සිතේ අන්තර්ගතයේ එක් අංගයක් වන්නේ සමාජ අත්දැකීමෙන් හා අධ්‍යාපනයෙන් උකහා ගනු ලබන දැනුම හෙවත් දත්ත. මේ දත්ත නොකඩවාම පරම්පරාවෙන් පරම්පරානට අලුත් වෙනවා. තාක්ෂණයත් මෙම අංගයේම කොටසක්. පුද්ගලයෙකුගේ සිතේ අන්තර්ගතයේ මෙම අංගය එම පුද්ගලයාට යොදන්න පුළුවන් තමන්ගේත්, අන්‍යයන්ගේත් සහ ස්වාභාවික පරිසරයේත් යහපත පිණිස. නමුත් එහෙම වෙන්න නම් පුද්ගලයා තුළ තමා සමගත්, අන්‍යයන්  සහ ස්වාභාවික පරිසරය සමගත් සහකම්පන සම්බන්ධතාවයත් තියෙන්න ඕන. නමුත් ඒ විදියේ සම්බන්ධතාවයක් බොහෝ විට නැහැ. සම්බන්ධතාවල ගුණාත්මක ස්වරූපය තීරණය කරනු ලබන අන්තර්ගතයේ අංගය තවම පරණයි. ගෝත්‍රිකයි. ඒ මගින් තමා සමගත්, අන්‍යයන් සමගත් සහ ස්වාභාවික පරිසරය සමගත් සහකම්පන සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ වෙනුවට විවිධාකාර බෙදීම් ජාලයකින් සංකීර්ණ වූ සම්බන්ධතා රටාවක් ඇතිවෙනවා.

උදාහරණ වශයෙන් පුද්ගලයා අයත්වන සමාජයේ පවතින, ඒ සමාජය තුළ වසර සිය දහස් ගණනක් තිස්සේ ගොඩනැගුන සංස්කෘතිය, දෙමව්පියන්, ගුරුවරුන් හා සමාජය විසින් ඒ පුද්ගලයාගේ ළමා කාලයේ සිටම සිතට කාවද්දවනවා. ඒ සංස්කෘතිය ‘තම සංස්කෘතිය’ වශයෙන් පුද්ගලයෙගේ මතකයේ පැලපදියම් කරවනවා. එවිට එම සංස්කෘතිය ‘මගේ’ හෝ ‘අපේ’ සංස්කෘතිය බවට පත්වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ‘මගේ/අපේ’ ආගම, ‘මගේ/අපේ’ ජාතිය, ‘මගේ/අපේ’ වර්ගයා සහ ‘මගේ/අපේ’ සිරිත් විරිත් ආදී වශයෙන් අනන්‍යතාවයක් ගොඩනැගෙනවා. ඒ සමගම ‘මගේ/අපේ නොවන’ ආගම්, ජාති, ජන වර්ග හා සිරිත් විරිත් සමග බෙදීම් ඇතිවෙනවා. කිසිම තුලනාත්මක අපක්ෂපාත ඇගයීමකින් තොරව ‘මගේ/අපේ’ වූ දේවලට අගතිගාමීව පක්ෂපාත වෙනවා. ඒවා අනික්වාට වඩා හොදයි, උසස් හෝ නිවැදියි ආදී වශයෙන් නිගමනවලට එළඹෙනවා. මේ සියල්ල සිදුවන්න පුළුවන් පුද්ගලයාගේ අනුදැනීමකින් තොරව. එතැන් සිට අතීතයට අයත් වූ මෙම අන්තර්ගතය මගින් පුද්ගලයාගේ වර්තමාන සිතිවිලි හා ක්‍රියාකාරකම් මෙහෙයවන්න පටන් ගන්නවා. අතීතයේ මුල් බැසගත් බෙදීම්වලින් භේදබින්න වූ සිතේ අන්තර්ගතය පරම්පරාවෙන් පරම්පරම්පරාවට අනාගතයට ගලායනවා. මේ පරණ සිත මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වෙලා. මන්ද  මේ භේදබින්නවූ පරණ සිතෙන් සන්නද්ධ වූ මිනිසා අද අති බිහිසුනු ලෙස බලසම්පන්න වූ නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වෙලා. අපට අද එහි විපාක දිනපතා අහන්න දකින්න ලැබෙනවා.

සිත අලුත් නොවන්නේ ඇයි

තම සිත අවධානයෙන් නිරීක්ෂණය කරන කෙනෙකුට දකින්න පුළුවන් අතීතයේ තම මතකයේ තැන්පත් වූ ආශාව, භය යන එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ බලවේග තම වර්තමාන සිතුවිලි මෙහෙයවන ආකාරය. සිත් ඇදගන්නා සුළු යමක් හෝ පුද්ගලයෙක් දුටු විට ඒ කෙරෙහි යම්කිසි ආකාරයක කැමැත්තක් ඇති වුණත් එය මතකයේ පැලපදියම් නොවී ටික වෙලාවකින් මතකයෙන් ඉවත් වෙනවා. ඒ වගේම යමකට හෝ යම් පුද්ගලයෙකුට ඇතිවන අකමැතක් වුවත් තාවකාලිකයි. එය මතකයේ පැලපදියම් නොවී ඉන් ඉවත් වෙනවා. ඒ නිසා අතීතයේ ඇති වූ හෝ වර්තමානයේ ඇති වන කැමති,අකමැති අනාගතයේ ඒ පුද්ගගලයා විසින් ගනු ලබන තීරණවල දී සිත මෙහෙයවීමේ සාධකයක් ලෙස බලපෑපෑමක් කරන්නෙ නැහැ. ඒ නිසා මතකයේ ලියාපදිංචි නොවන එවැනි අතීත සිදුවීම් වර්තමානය හා අනාගතය දක්වා ගලායන්නෙ නැහැ. ඒ කියන්නේ සිතේ පරණ අන්තර්ගතය වර්තමානයට හා අනාගතයට ඇතුල් වෙන්නෙ නැහැ. ඒ නිසා පරණ අන්තර්ගතයේ බලපෑමෙන් නිදහස්ව, ඒ ඒ මොහොතේ උද්ගතවන තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට ඒ ඒ අවස්ථාවේ තමා වටා සිටින හැමදෙනාගේ යහපත පිණිස හිතන්නත් ක්‍රියාකරන්නත් පුළුවන්.

නමුත් අප වැඩිදෙනා තුළ මෙය මේ ආකාරයට සිදුවන්නෙ නැහැ, මොකද එදිනෙදා ජීවිතයේදී අප වැඩිදෙනා තුළ හට ගන්නා කැමති,අකමැති දේ අප නොදැනුවත්වම අපේ මතකයේ පැලපදියමි වෙනවා. උදාහරණ වශයෙන් හිතමු කෙනෙකුගේ නෙත ගැටෙනවා සාප්පුවක ප්‍රදර්ශනයට තබා තිබෙන සිත් ඇදගන්නා සුළු ඇදුමක්. දුටු වහාම එයට කැමැත්තක් ඇතිවෙනවා. එය මතකයේ පැලපදියම් නොවී ටික වේලාවකින් මතකයෙන් ඉවත් වෙන්න පුළුවන්. නමුත් බොහෝ විට එය එහෙම වෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ පුද්ගලයා එම ඇදුම මනසින් ඇදගන්නවා. ඇදගෙන තමාම මනසින් එහි හැඩ බලනවා. තමා ඒ එය ඇදගෙන ඉන්නවා දකින තම මිතුරු මිතුරියන් තම ලස්සන ගැන කියන කරන දේ ගැන සිතමින් උද්දාමයට පත් වෙනවා. මනසින්ම එය ඇදගෙන ප්‍රිය සම්භාෂණවලට යනවා. ඒ ඇදුම නිසා තමා එහි සිටින අන් අයට වඩා කැපී පෙනෙන ආකාරයත් සමහරු තම ලස්සන වර්ණනා කරන ආකාරයත් තවත් සමහරු තමාට ඊර්ෂ්‍යයා කරන ආකාරයත් ගැන සිහින මවනවා. මෙන්න මේ මානෝමය ක්‍රියාවලියේ ප්‍රතිඵලය තමයි ඒ ඇදුම කෙරෙහි මුලින් ඇති වුණ කැමැත්ත. එය තමාට අයිතිකර ගැනීමේ ආශාවක් බවට වර්ධනය වී එය තම මතකයේ මුල්බැස ගැනීම. එතැන් සිට කාලය සමග ඒ ආශාව පරණ වුනත් එය වර්තමාන මොහොත මෙහෙයවනවා. වර්තමානය හරහා අනාගතයට ගලාගෙන යනවා. ඒ කියන්නෙ, මතකයේ පැලපදියම් වූ එම ආශාව වර්තමානයේ ඇතිවන සිතුවිලි මෙහෙය වනවා. එයම මිල දී ගැනීමට තමාව පොළඹවනවා. එය මිල දී ගැනීමට තරම් වත්කමක් නැත්නම් ඒ පිනිරස මුදල් උපයා ගැනීමට හැකි මාර්ග හිතෙන් සැලසුම් කරනවා. ඒ සමගම එය තමාට මිල දී ගැනීමට නොහැකි වේ දැයි ඇතිවන භය තවත් ආකාරයකින් සිතුවිලි මෙහෙයවන්න පටන් ගන්නවා. ඒ භය වර්තමානය හරහා අනාගතයට ගලාගෙන යනවා. මේ ආකාරයට පරණ සිත නොවෙනස්ව වර්තමානය හරහා අනාගතයට ඇතුල් වෙනවා. සිතට අලුත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.

මෙම මූලධර්මයම තමයි මනුෂ්‍ය වර්ගයා අතර අතීතයේ සිට පැවති ගෝත්‍රික, ආගමික, ජනවාර්ගික හා කුළ වශයෙන් වූ විනාශකාරී  විවිධ බෙදීම් හා ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවාද ආදිය අතර පවතින පාරම්පරික වෛරය හා ගැටුම්කාරී තත්ත්වයන් වර්තමානය හරහා අනාගතයට රැගෙන යන්නේ. දරුවෙකුට ලහමා කාලයේදීම එම දරුවා උපන් සමාජයේ සංස්කෘතිය ‘තමා ගේ සංස්කෘතිය’ ලෙස හිතන්නත් තම සංස්කෘතිය අනෙක් සංස්කෘතීන්ට වඩා උතුම්, උසස්, නිවැරිදි හෝ පූජනීය ලෙසත් හිතන්නත් පුරුදු කරනවා. මේ මගින් ‘මගේ/අපේ ආගම’, ‘මගේ/අපේ ජාතිය’ හා ‘මගේ/අපේ වර්ගයා’ ආදී වශයෙන් ඇතිවන හැගීම මතකයේ මුල්බැස ගැනීම සමගම ‘මගේ/අපේ නොවන’ ‘මම/අපි නොවන’ අනෙක් ජන කොට්ඨාශ සමග බෙදීමක් මනස තුළ හටගන්නවා. ඒ කියන්නේ මේ බෙදීම් මොළයේ රැහැණියකරණය වෙනවා. තම ආගම, තම ජාතිය හෝ තම වර්ගයා පවත්වා ගෙනයාම සදහා තම මතකය තුළ පැලපදියම් වන ආශාව සහ  තම ආගමෙහි, තම ජාතියෙහි හෝ තම වර්ගයාගේ ඉදිරි පැවැත්මට තමාගේ නොවන ‘අන්‍ය’ ආගම්, ජාතීන් හෝ වාර්ගිකයන්ගෙන් ඇති විය හැකි තර්ජන පිළිබදව මතකය තුළ පැලපදියම් වන භය වර්තමානය හරහා අනාගතයට ගලායන තාක් කල් මේ අනතුරුදායක බෙදීම් සහිත පරණ සිතට නවීන සමාජය අගය කරන සාමය, සහජීවනය, පරාර්ථකාමිත්වය, සාධාරණත්වය, අවංකකම, මානුෂීය වටිනාකම්, සදාචාරය, ගුණධර්ම හා මනුෂ්‍ය අයිතිවාසිකම් ආදියට ගැළපෙන ලෙස අලුත් වීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. සිත අලුත් නූනත් තාක්ෂණය නොකඩවාම අලුත් වෙනවා. බලසම්පන්න වෙනවා. පරණ සිතෙන් මෙහෙයවනු ලබන බෙදුන මනුෂ්‍ය වර්ගයාට බලසම්පන්න වූ නවීන තාක්ෂණය හා එම තාක්ෂණයෙන් මෙහෙයවන බලසම්පන්න අවි අයුධ ලැබීමේ අන්තරාදායක බවටයි අද අප මුහුණ දී සිටින්නේ.

අලුත් තාක්ෂණයට ගැළපෙන පරිදි පරණ සිත අලුත් කරන්නේ කෙසේද

තාක්ෂණය නොකඩවා අලුත් වෙද්දි සිත අලුත් නොවී අතීතයේ රැදී තියෙන්නේ අතීත සිදුවීම් පාදක කරගත් ආශාවන්, භය හා ඒ මගින් ජනිතවන මම පිළිබද හැගීම හෙවත් මමත්වය අපේ සිත අරක්ගෙන සිටින නිසා. දැනට ලොව පුරා පවතින ප්‍රධාන අධ්‍යාපන ක්‍රමවේද සිතෙහි පරණ අන්තර්ගතය තවදුරටත් නඩත්තු කිරීමට මිස එය අලුත් කිරීමට යොමු වෙලා නැහැ. සිත අලුත් කිරීම සදහා අවශ්‍ය ක්‍රමවේද දරුවන්ට ඉගැන්වීමට හෝ ප්‍රගුණ කරවීමට දැනට පවතින අධ්‍යාපන ක්‍රමය යොමුවෙලා නැහැ. එහි අරමුහන ජීවත්වීම සදහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම සහ පුහුණුව  ලබාදීම පමණයි. මේ නිසා පරම්පරාවෙන් පරම්පරාවට වසර සිය දහස් ගණනක් තිස්සේ ගලා ආ මනුෂ්‍ය සිතෙහි පරණ අන්තර්ගතය ඊළග පරම්පරාවටත් ඇතුල්වීම වැළැක්වීමට නම් සිත අලුත් කරන ක්‍රමවේද අධ්‍යාපනය තුළින් දරුවන්ට ඉගැන්වීමට සහ ප්‍රගුණ කරවීමට පියවර ගන්න ඕන. මෙන්න මෙතෙන්දි තමයි අධ්‍යාපනය තුළට ආධ්‍යාත්මිකත්වය ඇතුල් කිරීම අවශ්‍ය වෙන්නෙ. එය ඉගැන්විය යුත්තේ පංති කාමරවලට සීමා වූ සාම්ප්‍රදායික විෂයක් විදියට නොවේ. ඒ වෙනුවට සංගීතය, නැටුම් හා ක්‍රීඩා උගන්වන ආකාරයට පංති කාමරයෙන් බාහිරව කළයුතු ප්‍රායෝගික අභ්‍යාස සහිතව උගන්වන ක්‍රමවේදයක් මේ සදහා අවශ්‍යයි.

මේ පිණිස යොදාගත හැකි ප්‍රායෝගික අභ්‍යාස නවීන විද්‍යාවෙන් සපයනවා. ඒ වගේම විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ කර තිබෙන සමහර ආගමික ප්‍රතිපදාවන් ද මේ සදහා යොදාගන්න පුළුවන්.

 

ආචාර්ය රෝහණ උල්ලුවිස්හේවා – පාමස්ටන් නෝර්ත්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.