ඕනෑම දෙයක් අප සමීපව තිබෙන කල්හි එහි වටිනාකමක් අපට නොදැනේ. නමුත් එය ඔහු හෝ ඇය යම් දිනක අපෙන් දුරස් වී යයි ද එදිනට එහි වටිනාකම මනාකොට පසක් වන්නේය. අඩුවම දැනෙන්නේය. මෙයත් එවැනි අසීමිත වටිනාකමකින් යුත් උතුම් සම්පතක් ගැන යි.
වචන ද්විත්වයක්/සෙනෙහසක්
ජාති, කුල, ආගම් භේදයකින් තොරව හදවතට සමීප, මේ තරම් සංවේදී වචනයක් තවත් නැතැයි කිවහොත් එය සැබැවින්ම සත්‍යයකි. ඇතොත් යම් වචනයක්, එයද එකී වචනය සමගම බැඳුණු තවත් එකම එක වචනයක් පමණි. අකුරු ත්‍රිත්වයකින් මනාකොට ගොනු වූ මේ වචන ද්විත්වය සම්, මස්, ඇට සිඳ ඇටමිදුළු කරා ම ගොස් තැන්පත් වූවකි. එකී වචන ද්විත්වයට පණ නල සපයන උතුමෝ සුන්දර වූත් විචිත්‍ර වූත් ලොවක් නිර්මාණය කරති. එම ලෝකයෙහි විචිත්‍රත්වය රස විඳින්නවුන් හට කෙළෙහි ගුණ අමතක වීම නම් ඔවුන්ගේම අවාසනාවකි. සියතින් ගෙල සිඳගැනීමක් හා සදිසි ය. නමුත් එවන් අඥානයන්ගෙන් තොර නොවූ ලොවක් අපි දකින්නෙමු.
දෙමාපියන් දරුවන්ට කරන්නා වූ උපකාරය කුඩා කඩදාසියක අකුරු කරන්නට තබා සිතන්නටවත් නොහැක. එපමණටම ඔවුහු ස්වකීය දරුවන් වෙනුවෙන් වෙහෙසෙති. යම් දිනක ස්ත්‍රියකගේ කුසට දරුවෙක් පැමිණියා ද එතැන් පටන් ඕ තොමෝ ‘අම්මා’ නමින් ගරු බුහුමන් ලබන්නීය. එදා පටන් ඒ පුරුෂයා ‘තාත්තා’ යන නමින් ලෝකයාගෙන් පිදුම් ලබයි. තමන් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වූ බව දැනගත් කල්හි ඔවුන්ගේ සිත් සතන් අසීමිත සතුටකින් පිරී ඉතිරී යයි. එදා සිට ඔවුන්ගේ ලෝකය එම දරුවා ය. අනෙක් සියලු ප්‍රශ්න කොහේ හෝ මුල්ලක තැන්පත් වෙයි. කුසේ සිටින දරුවාට ඔවුන් සොඳුරු ලොවක් තනති. දුවෙක් ද පුතෙක් ද ලස්සන ද කැත ද අත්පා ඇත් ද නැද්ද ඒ කිසිවක් ඔවුන්ගේ සෙනෙහසට බාධා නොවෙති. මාපිය සෙනෙහස යනු අසිරියක් ම ය. නූපන් දරුවාට පාවහන් සදති. ඇඳුම් පැළඳුම් මැසෙති. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ගේ තුළට එයි. ගේ පුරා සෙල්ලම් බඩු එක්වෙයි. බිත්ති පුරා සිඟිත්තෝ සිනාසෙති. මේ සියල්ල නූපන් ඔබ වෙනුවෙනි. එය එසේ නම් උපන්නා වූ දරුවාට දක්වන සෙනෙහස කෙබඳු දැයි සිතාගන්නට පවා නොහැක. ඒ තරමට එය විස්මිත ය. අනන්ත ය. අවාසනාවක මහිම! ඒ අයුරින් බිහිවී හැදී වැඩුනු, උස් මහත් වූ එම දරුවෝම පසුව ඔවුන්ගේ මාපියන් කරදරයක් යැයි සිතති. අමතක කරති. සලකන්නට වේලාව නැතැයි කියති. එකී සියලු දරුවෝ ම මෙය සිහිනුවණින් ම කියවත්වා!
මව-පියා
ඔබ කුසට ආ දා පටන් ඔබේ මව තරම් ඔබව රැකගත් කෙනෙක් හෝ තාත්තා තරම් ඔබ වෙනුවෙන් වෙහෙසුණු කෙනෙක් මෙලොවෙහි නොමැත. අම්මාට රසට කෑම ටිකක් කන්නට නැත. රස්නෙට ආහාර ටිකක් ගන්නට බැරිය. සීතල යමක් ගන්නට නොහැක. ඒ ඇයට බැරි නිසාම නොවේ. ගත්තොත් කුසේ සිටින දරුවාට රිදේවි කියා ය. දුකක් දැනේවි කියා ය. ඇය පියවර තැබුවේ කුස පවා අල්ලාගෙන පොළොවට පවා නොදැනෙන සෙයින් ය. ඒ ‘අනේ මගේ දරු පැටියාට රිදේවි, කරදරයක් වේවි,’ යැයි සිතූ නිසා ය. ඇයට පහසුවෙන් සිටින්නට ඉරියව්වක් තිබුණේ නැත. සුවසේ නිදාගන්නට අවස්ථාවක් ලැබෙන්නේත් නැත. ඔබ කුසේ සිටියදී ම ඒ වද වේදනා සියල්ල ඇය ඉවසා විඳ දරා ගත්තේ අසීමිත දරු සෙනෙහස නිසාවෙන් ම ය. ඇය කොයි මොහොතකවත් කෝප සිතක් ඇති කර නොගත්තාය.
ඔබ අම්මාගේ කුස තුළ සිටිද්දි ම ආදරණීය තාත්තා ඔබ වෙනුවෙන් වැස්සට තෙමුණ වාර ගණන, අව්වට පිච්චුන වාර ගණන නිමි නැති කල්හි ඔබව ලොකු මහත් කරන්නට, උගන්වන්නට ඔහුගේ කය වෙහෙසවූ ප්‍රමාණය ද සිතන්නට නොහැක. ඔහුගේ තරුණ බව දිනෙන් දින වැහැරුනේ, අම්මාගේ ලස්සන ශරීරය වැහැරුනේ ඔබ වෙනුවෙන් නොවේ කියා කියන්න හයියක් ඔබට නැත. ඒ සිරුරුවලින් ගලාගිය ඩාබිඳු පොළොවට උරාගත්තේ නිහඬව ම ය. ගොවිතැන වේවා, ව්‍යාපාර වේවා, රාජකාරි කටයුතු වේවා ඒ සෑම දෙයක ම එක ම අපේක්ෂාව නුඹේ අනාගතය යි. තාත්තා කුසගින්නේ හිඳ අම්මාගේ කුස පිරවූ වාර ගණන ඔබ නොදන්නවා වුණාට එය ඔවුන්ගේ සිත් තුළ තැන්පත්ව ඇත්තේය. තාත්තාගේ ශරීරය කළු පැහැ වී අවලස්සන වුණේ ඔයා නිසා මිස වෙනකෙකු නිසා නොවෙයි.
ඔබ සතු කාර්යය
යම් දිනක ඔබ මෙලොව එළිය දුටුවා ද ඒ මොහොතේ අම්මාට දැණුනු වේදනාව මොනතරම් අමිහිරි ද කටුක ද කියා කියන්නට සමත් නොවෙමි. එය ඒ තරමට මහත් වේදනාකාරී නිමේෂයකි. සැබැවින්ම එය දැනෙන්නේ තමන් ද මවක වූ දාට ය. ඒ මොහොතේ ඔබේ අම්මා විඳපු දුකට ඔබ සදාතනික ණයකරුවෙකි. කෙසේ වෙතත් ඒ සියලු වේදනාවන් අමතක කර දමන්නට තරම් දරු සෙනෙහස බලවත් ය. ඔබේ මොලකැටි සිරුර දුටු පමණින් සියලු වේදනා සංසිඳී යයි. ප්‍රීතිය ඒ සියල්ල යට කර දමයි. වෛද්‍යවරු අත් ආවරණ සහිත අතින් ඔබව ගෙන අම්මාට දෙන විට අසූචි තැවරුණු ඔබේ සිරුර අම්මා දෝතින් ගන්නේ කිසිදු පැකිලීමකින් තොරව ය. සමහරවිට ඔබට මුළු ජීවිත කාලයට ම අම්මාගේ පා යුග සිපගන්නට නොහැකි වූවාට සැක නැත. තාත්තා ගැන කියන්නට ඇත්තේ ද එය ම ය. ඔවුන් අහිමිව ගිය පසු ඔබට යළි එකී සෙනෙහස හිමි නොවනු ඇත. ඔබ වටා කොතෙක් අය සිටියත් ඔබව බිහිකළේ එක මවක් සහ පියෙක් පමණි. සූජීවත්ව සිටින කළ කළ යුත්ත කොට පසුනොතැවෙන දරුවන් විම ඔබ සතු කාර්යයකි.
ගෙදර බඹුන්
(බ්‍රහ්මාති මාතාපිතරෝ) අම්මා තාත්තා යනු බ්‍රහ්මයෝ ය. තම දරුවන් කෙරෙහි ඔවුන් තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ ම මනාකොට පිහිටා ඇත. දෙමාපියන්ගේ එක ම පැතුම තම දරුවන්ගේ යහපත පමණි. ඒ වෙනුවෙන් මොනතරම් උපකාර කළත් කිසි දිනක ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර අපේක්ෂා නොකළහ. ඔබේ අත් පා මනාකොට සැදුණේ, උස් මහත් වූයේ අම්මාගේ රුධිරය නිසා ය. ඇගේ රුධිරය යි ඔබට කිරි කර පෙව්වේ. අප මහා කාරුණිකයන් වහන්සේ වදාළේ (ලෝහිතං හේතං භික්ඛවේ අරියස්ස විනයේ යදිදං මාතුථඤ්ඤං) “මහණෙනි, ආර්ය විනයෙහි රුධිරය කියා කියන්නේ මව් කිරිවලට යි” යනුවෙනි. එදා ඔබේ අම්මා ඔබට කිරි පෙවීම ප්‍රතික්ෂේප කළා නම්, කෑම ටික කවන්න පොවන්න වෙලාවක් නැහැ කීවා නම්, ඔබව නහවන්න වෙලාවක් නැහැ කීවා නම්, වැඩට යන්න ඕන බව කීවා නම්, ඔබට සිදුවන්නේ කුමක්ද යන වග සිතා බැලීම ඔබට ම භාර ය. එනමුත් අද බොහෝ දරුවන්ට තම මවට පියාට සලකන්නට වෙලාවක් නැතිලු, කවන්න පොවන්න නහවන්න වෙලාවක් නැතිලු, මොනතරම් නින්දිත ද? එයට කියන්නට ඇත්තේ මෙය යි.
“යෝ මාතරං වා පිතරං වා
ජිණ්ණකං ගතයොබ්බනං
පහූසන්තෝ න භරති
තං ජඤ්ඤා වසලෝ ඉති
හොඳට කා බී වසන රිසිසේ
දරුවො පමණක් සිටිති සුවසේ
දිරන මව්පියො වසති දුකසේ
මොවුන් වසලය දනුව මෙලෙසේ”
දෙමාපියෝ යනු සෑම දරුවෙකුගේ ම පූර්ව ආචාර්යවරු ය. කන බොන, අඳින පළඳින, ගමන බිමන, යහපත අයහපත, මෙකී නොකී සෑම දෙයක් ම අපට මුලින්ම ඉගැන්වූයේ අම්මා සහ තාත්තා ය. එසේ ඉගෙනගෙන දෙපා වාරු නැතිව ඔවුන් වැටෙන කළ නොසලකන දරුවා සැබැවින්ම වසලයෙකි. අම්මා තාත්තා අසනීප වූ විට ඔබ ඒ ගැන නොසලකා හරිනවා නම්, ප්‍රමාද කරනවා නම් මෙයත් හිතන්න. ඔබ කුඩා කළ ඕනතරම් අසනීප වන්නට ඇත. ඒ සෑම අවස්ථාවක ම ඔබගේ දෙමාපියෝ ළඟ සිටියේ සෙවනැල්ල මෙනි. සෙවනැල්ල ද අඳුරේ දී ඔබව තනි කරයි.
එහෙත් ඔවුහු සැපේදී මෙන්ම දුකේදී ද එක ලෙස ම ඔබට සමීපව සිටියෝය. ඔවුන් ඔබ වෙනුවෙන් නිදි වැරූ ප්‍රමාණය ඔබ අවදිව සිටි ප්‍රමාණයටත් වඩා ඇත. එය ඔබට සිහි නැත. අම්මා තාත්තා වෙනුවෙන් එක දවසක්වත් නිදිවැරූ බවක් ඔබට මතක නැතිව ඇති. ඔවුන්ගේ කැපකිරීම් අසීමිත ය. අද බොහෝ දරුවන් සැප සොයා මාපියන් අත්හැර දමා විදේශගත ව ඇත. තවත් අය නගරයේ පදිංචිව දෙමාපියන් ගමේ තනිකර ඇත. ඒ අවාසනාවන්ත දරුවන්ට මාපිය උපස්ථානය ද ඒ පිනට ද උරුමයක් නොමැත. නමුත් ණය බර ශේෂව පවතී. ඔබගේ දරුවන්ගෙන් ද ඔබට ලැබෙන්නේ ඔබ මාපියන්ට කළා වූ දේ ම බව සිත්හි දරාගන්න. මක් නිසාද යත්, ඔවුන්ගේ පෙර ගුරුවරු ඔබ නිසාවෙනි.
(මතු සම්බන්ධයි)
-රත්නපුරේ ආනන්දවිමල ස්වාමින් වහන්සේ – ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව