මනස්කාන්ත සුන්දර පරිසරයක් ඇති නිදහස්, සාමකාමී රටක් වන නවසීලන්තය එම රටේ ජීවත් වන සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉතා ඉහළ ජීවන රැකවරණයක් ලබා දීම සිදු කරනු ලබයි. එය රජයේ වගකීමක් ලෙස සැලකේ. මේ අනුව වයස අවුරුදු 60ට වැඩි සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ වරප්‍රසාදයක් ලෙස රජය මගින් සුපර් ගෝල්ඩ් පත ලබාදී ඇත. මෙම රන් තිළිණය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කරන ලද සේවයට ඇගයුමකි.
නවසීලන්ත සුපර් ගෝල්ඩ්පත මගින් ලබා දෙන වරප්‍රසාද අනුව රජය බලාපොරොත්තු වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම විශ්‍රාම දිවිය නිදහසේ සහ විවේකීව ගත කිරීමට අවශ්‍ය වටපිටාව සලසා දීමයි. රන් තිළිණ පත නවසීලන්ත ජාතිකයන්ට පමණක් නොව වෙනත් රටවල්වලින් පැමිණ එහි වාසය කරන සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන විශේෂ වරප්රසාදයකි. ඔවුන්ගේ සේවය අගය කිරීමකි.
සුපර් ගෝල්ඩ්පත ලබා ගැනීම සඳහා නවසීලන්ත සමාජ සුභසාධන දෙපාර්තමේන්තුව මගින් ලබා ගන්න අයදුම් පත්‍රය සම්පූර්ණ කර එම දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය. මේ සඳහා අයදුම් කරන අය
- නවසීලන්තයේ පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු හෝ විය යුතුය.
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංකය ලබා ගැනීම සඳහා I.R.D. අංකය ලබා ගැනීම, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍ර හෝ ඉදිරිපත් කළ යුතුය.
- බැංකු ගිණුමක් විවෘත කළ යුතුය.
මෙම තොරතුරු ඇතුලත් කර සමාජ සුභසාධන දෙපාර්තමේන්තුව වෙත අයදුම් කිරීමෙන් පසු සතියක කාලයක් තුළ සුපර් ගෝල්ඩ් කාඩ්පත තැපැල් මගින් ඉල්ලුම්කරු වෙත ලැබෙයි. කාඩ්පත ලබා ගැනීමෙන් පසුව www.supergod.govt.nz වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සක්‍රීය කර ගත යුතුය.
රන් තිළිණය – super gold සඳහා ලැබෙන වරප්‍රසාද
- කාඩ්පත් හිමියන් සඳහා පොදු ප්‍රවාහන සේවයේ සඳහා පෙ.ව. 9.00 – ප.ව. 3.00 දක්වා නොමිලේ ගමන් පහසුව. නැවත ප.ව. 6.00 – ප.ව. 9.00 දක්වා නොමිලේ ගමන් පහසුව.
- ඉරිදා දිනවල සහ රජයේ නිවාඩු දිනවල පෙ.ව. 6.00 – ප.ව. 9.00 දක්වා නොමිලේ ගමන් පහසුව.
- ආබාධිත අය සඳහා රෝද පුටුව සමග බස් රථය තුළට ඇතුල් වීමේ පහසුකම්.
- සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ දි 5% සිට 20% දක්වා මිල අඩු කිරීම්.
- සිනමා ශාලා, සංගීත, නාට්‍ය සහ විනෝද ක්‍රීඩා සඳහා ඇතුල්වීමේ ගාස්තු 20% දක්වා අඩු කිරීම්.
- ශරීර සුවතා සහ සම්බාහන මධ්‍යස්ථාන, රූපලාවණ්යාගාරවලින් සේවා ලබා ගැනීමේ දී 20%ක ගාස්තු අඩු කිරීමක්.
- අවන්හල් සහ භෝජනාගාරවලින් සේවා ලබා ගැනීමේ දී 15%ක සහනයක් සහ වැඩිහිටියන් සදහා පිළියෙළ කරන ලද විශේෂ කෑම වර්ග සඳහා 10% මිල අඩු කිරීමක්.
- පෞද්ගලික ප්‍රදර්ශන මධ්‍යස්ථාන හා කලාගාර සඳහා ඇතුළත් වීමේ ගාස්තු 10% අඩු කිරීමක්.
- නවසීලන්තයේ දකුණු දූපත් සඳහා ගමන් කිරීමට නැව් සේවාව සඳහා බලපත්‍ර ගාස්තු 10% අඩු කිරීමක්.
මේ අනුව බලන විට නවසීලන්ත රජය මගින් මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජීවිතයේ සැදෑසමය නිදහසේ, විවේකීව සහ විනෝදයෙන් ගත කිරීමට පහසුකම් රට ගියත් සළසා ඇත. රන් තිළිණපත ඇත්ත වශයෙන්ම රන් හා සමාන ත්‍යාගයකි. එසේම මෙම Super Good Card පත ඕස්ට්‍රේලියාව සඳහා ද වලංගු වේ.
සිසිර මුණසිංහ
චර්ටන් පාර්ක්