අපේ කාලයේ ශ්‍රී ලංකාවේ පහළ වූ බුද්ධිමත් ම උගතා වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තුන් මසක් පිරීම ආවර්ජනය කරනු වස් මෙම ලිපිය පල කෙරේ. ක්‍රි.ව. 2024 වෙසක් මස 1 වැනි දින එතුමා මෙලොවෙන් සමුගත්තේ ය. ශ්‍රී ලංකාවේ උගත් නූගත් බොහෝ ජනයා අතින් එතුමා තරම් ගැරහුමට හා පීඩාවට ලක් කළ ශ්‍රී ලාංකික උගත් බුද්ධිමතෙකු තවත් නැති තරම් ය. නොසැලෙන ගුණැති එතුමා සිය මතවාදීන් සරල ලෙසින් පැහැදිලි කරමින් ශ්‍රී ලාංකික ජන සමාජයේ වැරදි ආකල්ප නිවැරදි කිරීමේලා කළ සේවය ඉතා උතුම් ය. ශ්‍රී ලංකාවේ තිස් වසරක කොටි බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කළ හැකි බව ස්ථිර ලෙස ප්‍රකාශ කරමින් එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා දිරිමත් කළේ මෙතුමා බව සඳහන් කිරීම අනිවාර්ය සහ අත්‍යවශ්‍ය කරුණකි. ඊනියා “විශේෂඥයන්” කොටි ත්‍රස්තවාදය හමුවේ හැකිලෙද්දී ඊට එරෙහිව හඬ නැගූ මතවාදී සටනේ ඉදිරියෙන් ම සිටි දිසි -අදිසි බලවේගය නලින් ද සිල්වා මහතා විය.
1944 ඔක්තෝබර් 24 දා නලින් කුමාර් ද සිල්වා පානදුරේ ගුරු යුවළකට දාව උපත ලද්දේ ය. එතුමා තමාගේ උපතින් ලද බුද්ධිමය ගුණය හඳුනා ගත් අයුරු පවසන්නේ එතුමාට යම් කරුණු කාරනා නිරවුල්ව අවබෝධ කොට ඉදිරිපත් කිරීමේ ඇති හැකියාවයි. අවුරුදු 15 සිටම සෛධ්‍යන්තික භෞතික විද්‍යාඥයෙකු වීමට අරමුණු කළ 1963 දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගණිත අංශයෙන් ප්‍රථම පන්තියේ උපාධියක් ලබා ගත්තේ ය. පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලය තෝරා ගත්තේ එතුමාගේ ප්‍රියතම විෂයය වූ විශ්ව වේදය හැදෑරීමට අවශ්‍ය සුදුසු තාරකා විද්‍යාඥයින් එහි සිටි බැවින්. මහාචාර්ය විලියම් මැක්රේ මහතා නලින් ද සිල්වා පශ්චාත් උපාධි අපේක්ෂකයාගේ මාර්ගෝපදේශකයා විය.
සසෙක්ස් විශ්ව විද්‍යාලයේ දී එතුමා වයස අවුරුදු 25 දී කිසිවකුට බිඳිය නොහැකි තරමේ ලෝක වාර්තාවක් තබමින් ආචාර්ය උපාධිය ලබා ගැනීමට සමත් විය. අවුරුදු හතරකින් සම්පුර්ණ කළ යුතු උපාධි නිබන්ධනය අවුරුදු එකහමාරකටත් අඩු කාලයකින් නිම කොට එතුමාට දුන් ප්‍රධාන ප්‍රශ්නයට අමතරව තවත් විෂයානුබද්ධ පැනයක් තමා ම නිර්මාණය කොට විසඳමින් ය. ඉතා කෙටි කලකින් උපාධිය සම්පුර්ණ කිරීම නිසා සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සම්ප්‍රදායක නීති රීති පවා වෙනස් කිරීමට සිදු විය. එම කෙටි කාලීන උපාධිලාභී වාර්තාව තවමත් ආචාර්ය නලින් ද සිල්වා මහතා සතුය. “ඔබේ රට ඔබ ගැන ආඩම්බර වනු ඇති” මහාචාර්ය විලියම් මැක්රේ මහතා නලින්ද සිල්වා නමැති බුද්ධිමත් ශිෂ්‍යයාට පැවසීම ශ්‍රී ලංකාවලත් ගෞරවයකි. පසු කලෙක තම ගුරු උපදේශක මහාචාර්යවරයා ගෙන හිස් වුණු තනතුර බාර ගන්නා ලෙස සසෙක්ස් විද්‍යාලයෙන් එතුමාට ඇරයුම් කළද එතුමා එය භාර නොගත්තේ තම මව් රටට තම සේවය ලබා දිය යුතු ය යන අදහසේ එල්බ සිටි බැවින්. ආචාර්ය නලින් ද සිල්වා මහතා බ්‍රිතාන්‍ය තාරකා සංගමයේ අධි සාමාජිකයෙකි.
එහෙත් නලින් මහතාගේ අදහස වූයේ බටහිර විද්‍යාඥයින් සිතන පතන ආකාරයට සිතීම තමා අයත් සංස්කෘතිය තුළ දී එවැනි විද්‍යා අදහස් නිර්මාණය උගහට බවයි. බටහිර විද්‍යා අධ්‍යයන කටයුතුවල උනන්දුවෙන් නිරත වුවද ඉහත කී හේතුව නිසා එතුමා නිතරම ප්‍රකාශ කළේ තමාට බටහිර විද්‍යාඥයෙක් වීමට නොහැකි වූ බවයි. පසු කලක “බටහිර විද්‍යාව පට්ට පල් බොරුවක්” යයි ප්‍රසිද්ධියේ හඬ ගා ප්‍රකාශ කිරීම නිසා එතුමාට එරෙහිව දැඩි ලෙස උගත් නූගත් බොහෝ ජනයා නැගී සිටියහ.
මාක්ස්වාදී දේශපාලනයේ සාමාජිකයෙකු වූ මෙතුමා ලංකා සමසමාජ පක්ෂයේ සහ නව සමසමාජ පක්ෂයට සම්බන්ධව දේශපාලන කටයුතුවල නිරත විය. මාක්ස්වාදය ගැඹුරෙන් හැදෑරීම නිසා එහි නිසරු තැන් දැක 1980දී ඒවා විවේචනය කරමින් ” මාක්ස්වාදය විද්‍යාත්මක ද ” යන මැයෙන් ඉරිදා සිළුමිණ අතිරේකයට දීර්ඝ ලිපියක් ලියා එතුමා නව සමසමාජ පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් විය. එජාප රජයේ ඒකාධිපතිත්වයට එරෙහිව දේශපාලන ක්‍රියාකාරකම් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රැකියාව අහිමි වූ අතර පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ කථිකාචාර්ය පදවියක් ලබා ගත්තේ ය. එම කාලය එතුමාගේ විශ්ව විද්‍යාල ජීවිතයේ සුවිශේෂී වූ යුගය විය.
සිංහල-බෞද්ධ ශ්‍රී ලංකාවට උරුම ජාතිකවාදී චින්තනයට නැඹුරු වූ එතුමා දැනුම ලබා ගැනීමේ ඥාන ගවේෂණය පිළිබඳ බෙහෙවින් උනන්දු විය. ” කාලය” නමින් සඟරාවක් ආරම්භ කොට දේශීය චින්තනය පිළිබඳ නොයෙක් ලිපි පල කිරීම අපට දේශ හිතෛෂී අනගාරික ධර්මපාල තුමා සිහි කරවන කාර්යයක් විය. කොළඹ විශ්ව විද්‍යාලයේ “ගවේෂකයෝ” නමින් ශිෂ්‍ය සංවිධානයක් පිහිටුවා දේශීය චින්තනයක අවශ්‍යතාව කෙරෙහි තරුණ සිසුන් ගේ නැඹුරුවක් ඇති කළේය. ප්‍රතිඵලයක් ලෙස එතුමාගේ ඉතා සාර්ථක ග්‍රන්ථය වන “මගේ ලෝකය” නම් ග්‍රන්ථය එළි දුටුවේ ය. යුරෝපීය ආක්‍රමණිකයන්ගේ කපටි සහ දුෂ්ටකම් නිසා අපට නැති වී ගිය අපේ වටිනා දැනුම යලි මතු කර ගැනීමේ අවශ්‍යතාව මනාවට පැහැදිලි කර දුන්නේ ය. අද එහි උසස් ප්‍රතිඵල ලෙස උගත් තරුණ පරපුර එවැනි ගවේෂණවල නිරත වී සිටීම සුභවාදී පෙර දැක්මකි.
දැනුම වාස්තවික නොව දැනුම එක එක සංස්කෘතීන්ගේ අවශ්‍යතා අනුව සංස්කෘතීන්ට සාපේක්ෂව නිර්මාණය කිරීමට හේතු වන බව එතුමා පෙන්වා දුන්නේ ය. දැන් ලෝකය තුළ රජයන්නේ ග්‍රීක, යුදෙව්, ක්‍රිස්තියානි සංස්කෘතියේ චින්තනයෙන් බිහි වූ දැනුම බව එතුමාගේ හැදෑරීම්වලට අනුව “මගේ ලෝකය” තුළින් විස්තර කළේ ය. රටවල් ආක්‍රමණය කළ බටහිර ජාතීන් ඒ ඒ රටවලට උරුම දැනුම් පද්ධතීන් බලෙන් යටපත් කොට උන්ගේ දැනුම, ආගම ප්‍රචාරය කිරීම දැඩි ලෙස එතුමාගේ විවේචනයට පාත්‍ර විය. යළි අපට උරුම අපේම දැනුම් පද්ධතිය ගොඩනගා ගත යුතු ය.
බටහිර විද්‍යාව පරම සත්‍යයක් සේ අදහන්නට නැඹුරුව සිටි බොහෝ ජනයා නලින් ද සිල්වා මහතාට එරෙහිව වාග් අවි අමෝරා ගත්හ. මේ නිසා බොහෝ උගතුන් එතුමා සමග ප්‍රසිද්ධ මාධ්‍යය ඔස්සේ වාද විවාදවල පැටලී පරාජය වූහ. ” කාලය” සඟරාව පසුව වෙබ් අඩවියක් ලෙස අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කෙරුණි. එතුමා දිනපතා ම සිංහල සහ ඉංගිරිසි බසින් ලිපි දස දහස් ගණනක් ලියා ලියා පල කළේය. ඒ හැරෙන්නට පොත්පත් රාශියක් ලියා පල කළේ අනාගත පරපුර බටහිර වහල් චින්තන භාවයෙන් ගලවා දේශීය චින්තනයට අදාළ ලෙස සිතන්නට හුරු පුරුදු කරලීමටයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටු වීමට එරෙහිව රට පුරා උද්ඝෝෂණ නැගෙන විට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එතුමාගේ උපදෙස් අනුව ප්‍රශ්නය නිරාකරණය කළේය.
සිංහල බෞද්ධ අපට උරුම චින්තනය ඉගැන්වීම ගැන උරණ වූ උගතුන් එතුමාගේ කොළඹ විශ්ව විද්‍යාලයේ රැකියාව ද අවසන් කළෝය. එහෙත් එතුමාගේ ජාතික චින්තන අදහස් ප්‍රචාරය කිරීම බිඳ කුදු නතර කළේ නැත. එවකට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති වූ එතුමා ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා සමනය කිරීමට ද නොකඩවා සටන් කළේ එතුමාට කිසිදු වැටුපක් නොලැබෙන කාලයක දී ය. එතුමාගේ බිරිඳ විශ්ව විද්‍යාල ආචාර්යවරියක් වූ තමරා ද සිල්වා මහත්මිය දරු තිදෙනෙකුගේ පවුලේ බර දැරුවා ය. අවුරුදු දහයක් තිස්සේ තනිවම සටන් කරමින් අහිමි කළ රැකියාව යළි ලබා ගැනීමට එතුමා සමත් විය.
එතුමා නැවත වරක් විශ්ව විද්‍යාල රැකියාවට පිවිසෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයටයි. විශ්වවේදය සහ කොන්ටම් භෞතික විද්‍යාව ආශ්‍රිත දැනුමේ හසලයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා ඊට නව දැනුම් එකතු කිරීමට ශිෂ්‍යයන් සමග පර්යේෂණ කාර්යන්හි නිරත විය. ක්වොන්ටම් භෞතිකයට සිංහල බෞද්ධ චින්තනය මත පිහිටා නව අර්ථකතන පැනවීය. ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෝ මේවා ප්‍රතික්ෂේප කරන විට බටහිර පිළිගත් ජාත්‍යන්තර විද්‍යා සඟරා එතුමාගේ මේ නව දැනුම සපිරි ලිපි පල කිරීමට පැකිළුණේ නැත. අභිධර්මයේ එන සංවට්ට කප්ප විවට්ට කප්ප ඇසුරෙන් නිර්මාණය කරන ලද විශ්වය පිළිබඳ දැනුම ආකෘතියක් ඉදිරිපත් කළේ ය.
එතුමාගේ අවංක සේවාව මත ඉක්මනින්ම විද්‍යා පීඨාධිපති තනතුරට පත් විය. එතුමාගේ ලිපි සහ පොත්පත් ලිවීමත් දේශීය චින්තනයට අනුබද්ධ දැනුම සොයා යාමත් නතර කළේ නැත. කොටි ත්‍රස්තවාදීන් ට බිය වූ දේශපාලකයින් සහ බලධාරීන් ගේ බියසුළු පැලැස්තර ඇලවීම විවේචනය කළ එතුමා ත්‍රස්තවාදය යුද්ධයකින් නිමා කළ හැකිය යන අදහස දිගින් දිගටම සමාජ ගත කළේය. එය එලෙසින්ම ජය ගෙන ත්‍රස්තවාදය නිම කිරීමට වීරෝධාර යුධ සෙබළුන්ට හැකි විය.
ඉන්පසු එතුමා කළ ආන්දෝලනාත්මක කාර්යය නම් රජරට ගොවීන් ගේ වකුගඩු රෝගයට පිළියම් සෙවීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් මෙහෙයවීමයි. ඊට මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සහයද එකතු විය. වකුගඩු රෝගයට හේතුව එම ප්‍රදේශයේ භූගත ජලයේ ආසනික අඩංගු වීම බව කැළණිය විද්‍යා පීඨයේ පර්යේෂකයෝ අනාවරණය කොට ප්‍රසිද්ධ කළහ. ඒ පර්යේෂණ සඳහා බටහිර විද්‍යා උපකරණ මෙන්ම ආධ්‍යාත්මික බලවේගයන්ගේ සහාය ලද බව ද එතුමෝ ප්‍රකට කළහ. එනම් නාථ දෙවියන් ප්‍රමුඛ දේව කණ්ඩායමක් මග පෙන්වීම් ලබා දුන් බව ප්‍රකාශ කිරීම බොහෝ දෙනාගේ උපහාසයට පාත්‍ර විය. රජරට ජලයේ ආසනික අඩංගු බවත් රෝගයට මුල ඒ කරුණ බවත් කැළණියේ පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කරන ලදී. මේ සම්බන්ධව පර්යේෂණ කළ වෙනත් බටහිර විද්‍යා පර්යේෂකයන්ට එවැන්නක් සොයා ගැනීමට නොහැකි විය. ජලයට ආසනික් එකතු වන්නේ බටහිර විද්‍යාව මගින් හඳුන්වා දුන් කෘමිනාශක මෙන්ම රසායනික පොහොර භාවිතාව කරන කොට ගෙනයි.
නලින් මහතාගේ යෝජනාවකින් දේශීය ක්‍රම යොදා ගෙන කුඹුරක් කොටා සරු අස්වැන්නක් ලබා ගැනීමට කැළණිය විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් සමත් විය. එතුමාගේ නායකත්වයෙන් වකුගඩු රෝග සම්බන්ධව පර්යේෂණ කණ්ඩායම කළ සොයා ගැනීම් ශ්‍රී ලංකාවේ විද්‍යාභිවර්ධන සංගමයේ දැඩි විවේචනයට ලක්ව ප්‍රතික්ෂේප කළ ද පසු කලෙක ඇමෙරිකාවේ විද්‍යාභිවර්ධන සංගමය ඒ සම්බන්ධව පර්යේෂණ කළ මහාචාර්ය චන්න ජයසුමන මහතාට සම්මාන සහතිකයක් පිරි නමා තිබුණි.
එතුමා විශ්‍රාම යාමෙන් පසු කලක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද කටයුතු කළේය. රටේ විවිධ කටයුතු අරබයා එතුමාගේ ජාතිකවාදී චින්තනයේ සිට කළ සේවය බෙහෙවින් වැදගත්ය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ එතුමා මියන්මාරයේ තානාපති පදවියෙන් පුදනු ලැබීය.
බුදු දහමේ ආභාෂය තුළින් සකස් වුණු නිවන සාක්ෂාත් කර ගන්නා යහපත් ජීවන මාර්ගයක් බිහි කරලීමේ අවශ්‍යතාව වෙනුවෙන් බොහෝ අදහස් පල කළ මෙතුමා බටහිර දැනුමෙන්වත් බටහිර ජීවන ක්‍රමයෙන්වත් අපට හෝ සෙසු ලෝකයාට හෝ වන යහපතක් නැතැයි සදහන් කළේය. එතුමාට මනා දුර දක්නා නුවණක් තිබුණි. ඒ එතුමා සතු නිරවුල්ව සිතීමේ හැකියාවෙන් කරන සමාජ විශ්ලේෂණ ය නිසයි. ආචාර්ය නලින් ද සිල්වා විද්වතාගේ බුද්ධියෙන් නිසි ප්‍රයෝජන ගැනීමට රටේ බලධාරීන් නිසිලෙස බුද්ධිමත් වුයේ නැත.
සරත් මල්ලියාවඩු – වෙලින්ටන්