fbpx
6.2 C
New Zealand
Wednesday, July 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කාන්තා ආර්ථිකය-දුරස්ථ ඉලක්කයක් | K.A.B.කරුණාරත්න | හැමිල්ටන්

Must read

කාන්තා ආර්ථිකය (SHEconomy) යන යෙදුම 2007 වසරේ සිට භාවිතයට ආවකි. එම වකවානුවල සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය සේවාව, ආහාර, රූපලාවන්‍ය, සංස්කෘතිය, මාධ්‍ය හා විනෝදාශ්වාදය වැනි අංශවල කාන්තා පාරිභෝජනය වැඩිව පෙනෙන්නට වූ බැවින් එම භාණ්ඩ හා සේවා කාන්තාවන්ට අවශ්‍ය ආකාරයට සැපයුණි.

2009 වසරේ වාර්තාවක් සපයන Harvard Business Review සඟරාව මිලදී ගැනිම් තීරණයකදී ගෘහභාණ්ඩ 94%ක්, නිවාඩු ගතකිරීම් 92%ක්, නිවාස 91%ක් හා විදුලි උපකරණ 51%ක් මිලදී ගැනීම් තීරණය කරන්නේ කාන්තාවන් බව පවසයි. ඒ අනුව මෙම සේවා හා භාණ්ඩ පාරිභෝජනය, නිපදවීම හා බෙදාහැරීම යන ආර්ථික ක්‍රියාවලියට පමණක් නොව සමාජ සංස්ථාවලට ද ඇයගේ බලපෑම අද ‘මෙගා ප්‍රවණතාවයක්’ (Mega Trend) වී ඇති බවට පළවේ. ඇතැම් කාන්තාවන් මෙම ක්‍රියාවලියට හවුල් වී ලෝකයේ විශාල ව්‍යාපාරිකයන් හෝ ව්‍යාපාරවල ඉහළ කළමණාකරුවන් බවට පත්ව ඇත.

චීනයේ ‘Collective Responsibility’ නමින් පළවන ෂැන්හයි ප්‍රකාශනයක 15 වියේදී ඇඟලුම් කම්හල් සේවිකාවක් වූ බීජිං ගොඩනැගූ කාන්තාව යැයි හදුන්වනු ලබන අද චීන ඉදිකිරීම් කර්මාන්තයේ ‘දැවැන්තයෙකු’ වන ‘Soho China’, හි ප්‍රධාන විධායක නිලධාරිනි, ෂැන් ක්සින් ගේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන තුනක් බව පවසයි. කම්හල් කම්කරුවකු ලෙස වැඩකර ඇති ‘ලෙන්ස් ටෙක්නොලොජි’ ආරම්භිකාව වූ  ෂවු ක්වන්ෆෙයිගේ වටිනාකම ඇ.ඩො.බිලියන 6.5 කි. ව්‍යවසායක සාර්ථකත්වය පිළිබද මෙවැනි ප්‍රවෘත්ති ඇමෙරිකාව හා යුරෝපයේ කොතෙකුත් පවතී.

ඇතැම් ප්‍රකාශන අනුව 2020 වනවිට ලෝකයේ කාන්තාවන් මිලියන 870 ක් ප්‍රධාන ආර්ථික ධාරාවල රැකියා කරන්නන් හෝ ව්‍යවසායකයින් බවට පත්ව ඇත. මෙයින් මිලියන 822 ක් කාර්මීකරණය නොවූ රටවල අය වූ අතර ඉතිරි මිලියන 48 උතුරු ඇමෙරිකාවේ, බටහිර යුරෝපයේ හා ජපානයේ අය වූහ. Harvard Business Review 2009 වර්ෂයේ දී, 2026 වන විට කාන්තා ආර්ථිකයේ වාර්ෂික පිරිවැටුම ඇ.ඩො. ට්‍රිලියන 29.3 කට ඇස්තමේන්තු කළේය.

ඕස්ට්‍රේලියාව, කැනඩාව, උගන්ඩාව, නයිජීරියාව, නැම්බියාව වැනි රටවල කාන්තාවන්ගේ සේවා හා ව්‍යවසායක යෙදවුම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව පවසන ‌Future of Work 2023 ප්‍රකාශනය 2021 ඇමෙරිකාවේ මිලදී ගැනීම්වලදී කාන්තාවන් ඇ.ඩො. ට්‍රිලියන 14 ක් හසුරුවා ඇති බව පවසයි. ඉන්දියාවේ කාන්තා ව්‍යාපාර හිමිකාරිත්වය 14% වන අතර ඇමෙරිකාවේ එය 39 %කි. පසුගිය දශක දෙකක ඒ ව්‍යාපාරවල වර්ධන වේගය 114%ක් බව ද තවත් ප්‍රකාශනවල සදහන් වේ.

2023 අගෝස්තු මස ෆිෂර් ඉන්වෙස්මන්ට් (Fisher Investment) වෙබ් අඩවියට ලිපියක් ලියන Elisabeth Dellinger, මතුපිටින් සාකච්ඡා නොවුණත් කාන්තා ආර්ථිකය දැනටමත් ලෝකය පුරා ස්ථාපිත වී ඇති බව පවසයි. ‘මෙය සිදුවෙමින් පවතින හොඳ විප්ලවයකි,’ යයි ‌Future of Work, 2023 ප්‍රකාශනයක් වාර්තා කරයි.

OECD සංවිධානය (Organisation for Economic Co-operation and Development), අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික හා දේශපාලන සහභාගිත්වය යන පරාමිතියන් මත 2023 සැකසූ SIGI දර්ශකය (Social Institutions and Gender Index), ලොවපුරා සෑම සමාජයකම පවතින, ස්ත්‍රී-පුරුෂ විෂමතාවය කාන්තා ආර්ථිකයට කොතෙක් බලපා තිබේදැයි තවත් පැතිකඩකින් පෙන්වා දෙයි. කාන්තාවට ඇතැම් අවස්ථාවල පහරදීමට ස්වාමියාට අයිතියක් ඇතැයි 30% කාන්තාවෝ විශ්වාශ කරති. කාන්තාව රැකියාවකට ගියවිට දරුවන් අසීරුතාවයට පත්වෙතැයි 56%ක්, පිරිමින්ට කාන්තාවනට වඩා රැකියා ලැබීමට අයිතියක් ඇතැයි 45%ක්, පිරිමින් වඩා හොද දේශපාලන නායකයන් වෙතැයි 48%ක්, මිනිස්සු විශ්වාස කරති. ලෝකයේ කළමනාකරුවන්ගේ කාන්තා ප්‍රතිශතය 25%කි. පාර්ලිමේන්තු නියෝජනය 27%කි. 50%ක නියෝජනයකට තව වසර 40ක් ගතවනු ඇත. ඇතැම් සමාජවල කාන්තාවනට දේපල උරුම නොවේ. 2020-30 අතර දී අඩු වයස් මනාලියන් සඛ්‍යාව පෙර-වසංගත කාලයට වඩා මිලියන 10 කින් වැඩිවනු ඇත. මෙම හිංසන සිදුවීම්, ‘අයිස් කන්දක මතුපිට පෙනෙන කොටස පමණකැයි’ කියන 2023-SIGI දර්ශකය, ‘දෘඪ සමාජ විශ්වාසයන් වෙනස්කම් කරවන නීතිරීති, පුරුෂාධිපත්‍යමය හරයන්, පක්ෂපාතීකම, පිරිමින් අතට ලැබී ඇති අසමාන බලය වැනි දෑ ඇයගේ ස්වාධීනත්වය, රැකියාවකට හෝ ව්‍යාපාරයනට යාමට ඇති නිදහස උදුරාගන්න බව’ පෙන්වා දෙයි.

පිටු 204 ක් පුරා විස්තර වන 2023-SIGI දර්ශක වාර්තාව මෙම ශෝචනීය වෘතාන්තයට ඒ ඒ රටවල් ලැබූ SIGI දර්ශකයන්ද ඉදිරිපත්කර ඇත. දර්ශක අගය හිමිවන ඉතා පහළ, පහළ. මධ්‍යම, ඉහළ, හා ඉතා ඉහළ ලෙස කාණ්ඩ පහකට රටවල් බෙදා ඇත. පහළ අගයෙන් දැක්වෙන්නේ ස්ත්‍රී-පුරුෂ විෂමතාවය අඩු බවය. එම රටවල කාන්තාවන්ට එරට සේවා නියුක්තියට හා ව්‍යවසායකත්වයට සම්බන්ධව කාන්තා ආර්ථිකය හැසිරවීමේ පහසුකම් ඇත. ඉහළ අගය විෂමතාවය වැඩි බව පෙන්වයි. එම රටවල ඇයගේ දායකත්වය අඩු බැවින් කාන්තාවට තම රටේ ආර්ථිකය හැසිරවීමේ අවකාශ ඇහිරී ඇත.

ඇල්බේනියාව, ආජෙන්ටිනාව වැනි රටවලින් පටන් ගෙවන සිම්බාවෙන් නිමවන ‘ඉතා පහළ’ දර්ශකයක් ඇති රටවල් 55 අතරට නවසීලන්තය වැටේ. ඇන්ගෝලා සිට වියට්නාම් දක්වා වන පහළ අගයක් සහිත රටවල් 30කි. බෙනින් සිට සැම්බියා දක්වා වන මධ්‍යම දර්ශකය ඇති රටවල් 18කි. බංගලාදේශ්, සිගප්පූරුව හා ටියුනීසියාව ඇතුළත් ඉහළ දර්ශකයේ රටවල් 19කි. කැමරෝන්, ඊජිප්ට්, සවුදි අරාබිය හා ගාසා තීරය ඇතුළත් ඉතා ඉහළ රටවල් 18කි.

මෙයින් තම රට ඇත්තේ මොන කාණ්ඩයේ දැයි කවර අයෙකු වුව විමසිලිමත් වනු ඇත. ශ්‍රී ලංකාව වැටන්නේ කවර කාණ්ඩයට ද යන්නත්  ඊට තුඩුදෙන සාධක කවරේද යන්නත් දැනගැනීමට උනන්දුවන කෙනෙකුට  2023-SIGI වාර්තාවේ පිටපතක් ‘ශ්‍රී ලංකන්ස්’ පුවත්පතෙන් ද ලබාගත හැක.

 

K.A.B.කරුණාරත්න – හැමිල්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.