fbpx
6.7 C
New Zealand
Monday, October 14, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්ත – ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලා කවය – හෙළ බස් උදානය | ජී. එස්. පෙරේරා | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නවසීලන්ත – ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලා කවය සංවිධානය කළ  හෙළ බස් උදානය වැඩ සටහන  2024-09-07 දින ඕක්ලන්ඩ්,  මවුන්ට් ඇල්බට් යුධ සැමරුම් මධ්‍යස්ථානයේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්විණ. 

ආගමික පූජක තුමන්ලා ඇතුලු රැස්ව සිටි අය චාරිත්‍රානුකූල  පොල්තෙල්  පහන දැල්වීමෙන් පසු  උත්සවය ආරම්භ වීය. උත්සව ශාලාවට ඇතූලු වූයේ දූ දරුවන්ගේ චිත්‍ර, මේ කාලයේ ඇත්තන්ගේ ගේ කුරුටු ගී යැයි හැඳින්වූ තවත් කවි එකතුවකින් සැදූ ප්‍රදර්ශන නිර්මාණ කිහිපයක් මැදිනි.

අලංකාරවත්ව සැකසුන බොන්සායි නිර්මාණ ප්‍රදර්ශනයට ද ඉඩකඩ වෙන් කර  තිබුණි. ඉතා අතීතයේ සිට,  චීන ආශ්‍රමවල භාවනානුයෝගී වූවන්ගේ  සිතේ තැන්පත් ගතිය ඇති කරවන එක් කාර්යයක් ලෙස බොන්සායි වගා කිරීම කරගෙන ගිය බව වාර්තා වේ. මෙය වඩාත් කලාත්මක මාධ්‍යයක් ලෙස ජපන් ජාතිකයන් විසින් ද  ප්‍රචලිත කරනු ලැබ ඇත.

බොන්සායි වගාවක දර්ශනය (philosophy) වන්නේ විශාල ගසක ස්වාභාවිකත්වය නොනසා එය කුඩා භාජනයක හදා වඩා ගැනීමය. අතුපතර විහිදා සරුවට හැදෙන පොහොටුකාවා ගස කුඩා බඳුනක හැදීවැඩෙන්නේ ඒ අනුවය. විශ්වය ද ඉක්මවන මිනිස් සිත විශ්ව පරිමිතිය තුළම පවතින ඒකකයක් සේ කුඩා පරිමාවක් තුළ හැඩගස්වා ගැනීම එහි මානසිකමය පැත්ත පෙන්වන කාරණයයි. යමෙකු ඔබට බොන්සායි පැලයක් ත්‍යාගයක් ලෙස දුනහොත් ඉන් සාමය, සතුට හා තැන්පත් බවේ සංකේතයක් ඔහු ඔබට පිරිනමා ඇත.

කමල්  ප්‍රනාන්දු හා රෝහණ විජේසිංහ යන මහත්වරුන් දෙපළ මේ වටිනා සම්ප්‍රදාය ප්‍රදර්ශනය කිරීමට ඉදිරිපත් වීම අගය කළ යුතුය.

උත්සවයේ අනුග්‍රාහකත්වය දැරූ ප්‍රධාන ආරාධිතයා වන iVISALAW ව්‍යාපාර ආයතනයේ අධ්‍යක්ෂිකා කාංචනා කුලසිංහ මහත්මිය විසින් චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය විවෘත කරනු ලැබිණ.  නවසීලන්ත – ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලා කවයේ සභාපති චින්තක එදිරිසූරිය මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගනු ලැබිණ.

ඉන් පසු මෙතුලි සියත්නා, එවින් අබේසිංහ, සසෙන් අබේසිංහ, ජෙරොම් ප්‍රනාන්දු යන දරුවෝ  ‘අකුරු මැකී නෑ’ යන ගීය ගායනය කළෝය.

ප්‍රවීන ගේය පද රචක ප්‍රියානන්ද විජේසුන්දර මහතා ආරාධිත දේශනය කරමින් අද බොහෝ විට දූ දරුවන්ගේ ලෝකයේ කැප්පෙට්ටපොල, මද්දුම බණ්ඩාර වැනි චරිත වෙනුවට‌ ටෝගාලා  රම්බෝලා වීරයින් වී ඇති බැවින් මව්බසට දරු දැරියන් ද උනන්දුවක් දක්වන මෙවැනි වැඩ සටහන්වල වැදගත්කම පෙන්වා දුන්නේ ය.‍ ඕක්ලන්ඩ් මෙන්ම හැමිල්ටන් පවා විහාරස්ථානවල, ප්‍රජා සංවිධානවල සෑම උත්සවයකදීම සංග්‍රහ හා සංවිධාන කටයුතුවලට නිහඬව සහාය දෙමින් සිටින කපිල විජේරත්න මහතාගේ සේවය ඇගයීම ද රැස්ව සිටි අයගේ අත්පොලසන් මැද ප්‍රියානන්ද මහතා විසින් කෙරුණි.

දවසේ ප්‍රධානතම කාර්යය වූයේ නවසීලන්තයේ පදිංචිව සිටිමින් පොත පත ලියා පළ කර නිර්මාණ සාහිත්‍යයට දායකත්වය ලබා දුන් කතුවර කතුවරියන්ගේ සේවය ඇගයීමය. නවසීලන්තයේ සංඝනායක  පූජ්‍ය වල්ගම ශ්‍රී මුණීන්ද්‍රවංශ නායක ස්වාමීන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ කිහිපයක් සිහිකරමින් පළමු තිළිණය උන්වහන්සේ වෙනුවෙන්  පිළිගන්වනු ලැබිණ. ඉන්පසු  ප්‍රියානන්ද විපේසුන්දර, කේ.ඒ.බී. කරුණාරත්න, ඉන්ද්‍රා කොළඹගේ, ලෙස්ලි ජයවර්ධන, සන්ධ්‍යා ලේකම්ගේ ඉද්දවල, දයා ප්‍රතාපසිංහ, නිරංජන් හේරත්, සෑම් නම්බුකාර ගමගේ, ජයන්ත සමරසේකර, රමණී රුක්ලාන්ති, ඩී. අමරසිරි ගුණවර්ධන, ආචාර්යය ඈන් පෙරේරා හා නන්දා ජයකොඩි යන මහත්ම මහත්මීන් රචනා කර පළකළ විවිධ පොත පත වෙනුවෙන් එම අයට තිළිණ ප්‍රධානය කෙරුණි.

ප්‍රධාන අනුග්‍රහය ලබා දුන්  ‘අයි වීසා-  ලෝ – iVISALAW’ සමාගමේ අධ්‍යක්ෂිකා කාංචනා කුලසිංහ මහත්මිය මෙවැනි වැඩසටහන්වලට සහභාගිවීමට ඉඩකඩ ලබා දීම ගැන  කලා සංගමයට ස්තුති කළාය. අනෙකුත් ව්‍යාපාරික මහත්ම මහත්මීට ද  මෙසේ ආරාධනා කරමින් තම ප්‍රජාව හා එක්ව කටයුතු කිරිමට  අවස්ථාව ඔවුනට ද ලබාදීම වැදගත් කරුණක් බව ද ඇය මතක් කර සිටියාය.

 

ඊළඟට ‘තාල නැටුම්’ කලා ආයතනයෙන් ඉදරිපත් කළ ‘උකුසා වන්නම’ රංගනය කළ  කුඩා දැරියෝ  තිදෙන කාගේත් සිත් ගත්තෝය. මැද සිටිමින් නර්තනය ඉදිරිපත් කළ කුඩාම  දැරිය අනෙක් දෙදෙනාගේ ඉරියවු ගැනද අවධානයෙන් සිටීම කාගේත් ආදරයට පත් කරවන සුළු දසුනක් වීය.

2018 වසරේ වේදිකා ගත වූ ‘විමුක්තිය සොයා’ නාට්‍යයේ ගීතමය ජවනිකාවක් නදිර දේවින් පීරිස්, නිමිරා වැලන් පීරිස්, ඉවන්කා ඩයස්, අල්විනෝ සූරියකෝන් යන කාණ්ඩය ඉදිරිපත් කළහ.   නූපුර කලායතනයෙන්  ඉදිරිපත් කළ ‘අපේකම’ හා ‘මාත්‍රා නැටුම් ආයතනයෙන් ඉදිරිපත් කළ  ලෙංචිනා  නර්තනයක් තවත් විශේෂ ඉදිරිපත් කිරීම් දෙකකි.

සෙලින් සේනානායනක දැරිය ‘රජ මැදුරක ඉපදී සිටියා නම්’ ගීතය ගායනය කළාය. අවසන් වශයෙන්  බොන්සායි නිර්මාණ පෙළගස්වා තැබූ  හා චිත්‍ර / අත්කම් ප්‍රදර්ශනයට දායකත්වය දුන් දරු දැරියන් අගයමින් සහතික පත් ප්‍රධානය කෙරුණි.

කථනය සදහා නිශ් සන්ජු හා මන්ජුලා මල්ලව ආරච්චි සහාය වූ අතර වැඩ සටහන් ඉදිරිපත් කිරීම අසෝක සෙනෙවිරත්න හා ප්‍රභාත් මල්ලව ආරච්චි යන මහත්වරුන්  දෙපළ විසින් කෙරුණි.

කලාකවයේ උපලේකම් රණුක පෙරේරා මහතා සහභාගි වූ සියල්ලටම ස්තුතිය පළ කිරීමෙන් පසු ලෝකයේ ඇති ලස්සනම බසක් මුල්කරගෙන පැවැත්වූ තවත් වැඩ සටහනක් එසේ නිම වීය.

ජී. එස්. පෙරේරා – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.