බුදු බැතියත් කරුණා රසයත් එකට මුසු වුණු අසිරිමත් සෙංකඩගල නුවර ශ්‍රී දළදා පෙරහැර පසුගිය නිකිණි පුන් පෝදා අවසන් මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරුණි. දස දෙසින් පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ ද පැසසුමට, ආදරයට ලක්වන ශ්‍රි දළදා පෙරහැර සාම්ප්‍රදායික උඩරට නර්තනාංග රැසක් මෙන්ම අනෙකුත් සාම්ප්‍රදායික නර්තනයන්ගෙන් අලංකාරවත් විය. මෙම නර්තනාංගයන්ගෙන් ශ්‍රී ලාංකීය කලාවන්ගේ අභිමානය ලොවටම විදහා දක්වයි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩමවන ලද ඉන්දිරාජා ඇතුළු ඇත්පන්තිය තේජාන්විත අලංකාරයක් පෙරහරට එක් කර ඇත.
‘කලට වැසි ලැබ, කෙත් වතු සාර වේවා!’ යන ප්‍රාර්ථනාව මුල් කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහැරට දීර්ඝ ඉතිහාසයක් ඇත. අරාජික වෙමින් පැවති කාලිංග දේශයේ මුටසීව රජ දවස දන්ත ධාතුන් වහන්සේගේ රැකවරණය පිණිස හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ලක්දිව රාජ්‍ය කළ කිත්සිරි මෙවන් රජ දවස ලක්දිවට දන්තධාතූන් වහන්සේ වැඩම කළහ. දන්තධාතූන් වහන්සේ පළමුව තැන්පත් කරන ලද්දේ අනුරාධපුර ඉසුරුමුණි විහාරයේය. එතැන් සිට වාර්ෂිකව අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ මහනුවර රාජධානීන් සමයේ ශ්‍රී දළදා පෙරහැර වාර්ෂිකව වතාවත් ද ඉටු කර ගනිමින් අඛණ්ඩවම පවත්වන ලදී.
දන්තධාතූන් වහන්සේගේ උරුමය අහිමි රජු එකළ ජනතාවගේ පිළිගැනීමට ලක්වුණේ නැත. පළමු විමලධර්මසූරිය රජුට ශ්‍රී දළදා වහන්සේගේ උරුමය නොමැති වූ නිසා ලක්දිව රජු ලෙස ජනතා අභිෂේකය ලබා ගැනීමට නොහැකි වූ රජෙක් විය. එම නිසා විමලධර්ම සූරිය රජු සබරගමුවේ දෙල්ගමුව විහාරයේ තැන්පත් කොට තිබුණු දන්තධාතූන් වහන්සේ ඌව පළාත හරහා රහසිගතව කන්ද උඩරටට වැඩම කරවා තම රාජ්‍යත්වය තහවුරු කර ගත්තේය. ශ්‍රි දළදා පෙරහර වඩාත් සමාජගත වන්නට පටන් ගත්තේ ද ක්‍රි.ව.1592දි සෙන්කඩගල නුවර රාජ්‍යත්වයට පත් වූ පළමු විමලධර්මසූරිය රාජ්‍ය සමයේදීමය.
1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ කාලයේ වසර දහයක් පමණ දළදා පෙරහැර පවත්වා නොමැති වුවත්
ශ්‍රී දළදා පෙරහැර දියවඩන නිලමේගේ ප්‍රමුඛත්වයෙන් පවත්වන්නට කටයුතු සම්පාදනය කරන ලදී. එතැන් සිට වාර්ෂිකව ශ්‍රී දළදා පෙරහැර මහත් හරසරින් මේ දක්වා පවත්වා ඇත.
දිමුතු විජේසූරිය – වෙලින්ටන්