පසුගිය දිනක – ශ්‍රී LankaNZ- පුවත්පතේ ” විභාවි ” තීරුව යටතේ ‘පුද පූජා හා පරිත්‍යාග’ යන මැයෙන් පළවී තිබූ කුඩා ලිපිය මම කියවීමි. ගිහියෙකු හා පැවිද්දෙකු අතර සිදුවූ සංවාදයක් උපුටා දක්වමින් එහි කතුවරයා විසින් අද බෞද්ධයන් ලෙස හඳුන්වාගනු ලබන බොහොමයක් දෙනා ‘බුදු – දහම’ සහ ‘බුද්ධාගම’ අතර අතරමංවී ඇති ආකාරය ඉතා මැනවින් පෙන්වා දී තිබුණි.
බුදු පියාණන් වහන්සේ එදා ජම්බුද්ධිපයේ මිනිසුන් යාග-හෝම, පුද-පූජා, බිලි-පූජා, ධ්‍යාන ලාභී භාවනා හා ශිල් සමාදන් වීම් වැනි වූ විවධ ආගම් 62 ක් ඔස්සේ සසරින් එතෙරවෙන ක්‍රමයක් සොයා වෙහෙසුණු යුගයක ’තවත් ආගමක්’ හඳුන්වා දුන්නේ නැත. එදා තිබුණු සියලු ආගම් නිෂ්ඵල බව පෙන්වාදුන් උන්වහන්සේ ස්වයං අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කොට දේශනා කළේ මිනිසාගේ අධ්‍යාත්මය තුළින් විමුක්තිය ළඟාකරගැනීමට අනුගමනය කළයුතු මාර්ග ප්‍රතිපදාවක් හෙවත් තමා විසින්ම යායුතු දහම් මගක් පමණි.
බුදුන් වහන්සේ දේශනා කළ ඒ දහම ‘බුදු-දහම’ ලෙස අප නම් කළත් එය අසීමිත වූ විශ්ව ධාතුව තුළ පවතින පරම සත්‍යය වන බැවින් එය කිසියම් පුද්ගල නාමයකට ලඝු කළහැකි විදියේ දර්ශනයක් යන අරුතින් ‘බුද්ධ දර්ශනය ‘ ලෙස හැඳින්වීම නොකළ යුතුය යන්න මගේ අදහසයි.
බුදු දහම තුළ ඇදහිලි, කන්නලව් කිරීම්, ආයාචනා සහ ප්‍රර්ථනා නැත. බෞද්ධ අනුගාමිකයෙක් තුළ ඇත්තේ සසර විමුක්තිය අවබෝධය සඳහා ඇති අධිස්ටානයයි. එහි ඇත්තේ ප්‍රඥා -ශීල -සමාධි යන ගුණ හමුවේ තම චිත්ත සන්තානය තුළ තමන් විසින්ම ප්‍රගුණ කරගතයුතු ගුණ සමුදායක් මිස බාහිර බලවේගයකින්, පුද්ගලයෙකුගෙන් හෝ දෙවියෙකුගෙන් ඉල්ලාගත හැකි හව් හරනක්, පිහිටක් හෝ අභව්‍ය වූ බලයක් නොවන්නේය.
බුදු දහමේ තත්වය මෙසේ තිබියදී ගිහි බෞද්ධ ජනතාවට සසර විමුක්තිය සොයා යන ගමනට සමගාමීව හෙට දවසේ ජීවත්වීමේ අරගලයටද මුහුණ දීමට සිදුවී ඇතිබව නොරහසකි. මේ සඳහා ඔවුන් ජිවිත සටනක නිරතවී ඇත. ඒ සටනේ ජය පරාජය අතරින් ජය පමණක් අත්කරගැනීමට කෙටි ක්‍රම සොයා යන්නට නැඹුරුවී ඇත.
ඒ සඳහා එදා ශ්‍රද්ධාවෙන් කෙරුණු බුද්ධ පුජාවෙන් ඔබ්බට ගිහින් අද වෙනකොට දේව පූජා, භක්ති පූජා, කන්නලව් හා ආයාචනා කිරීම්, පඩුරු ගැට ගැසීම් වැනි අභව්‍ය බලවේග වලින් යමක් ඉල්ලා වැඳ වැටෙන විදියේ පුජාවලටද නැඹුරු වී ඇත. මේ සඳහා අන්‍ය ආගමිකයින්ගේ බලපෑම් හා ආක්‍රමණද බලපා ඇති බවට සැක නැත. එය මගේ අදහස් දැක්වීමට අදාල නැත. හේතුව අනෙකක් නොව, එය කෙසේ සිදුවී තිබුණද, මේ වෙනකොට දේව ආගම්වලට නොදෙවෙනි වන පරිදි බුදුන් වහන්සේ කේන්ද්‍රකොටගෙන උන්වහන්සේගෙන් නිවණ ආයාචනා කිරීම පමණක් නොව, ඉන් පරිබාහිරව ලෞකික වූ සැප සම්පත් පවා ආයාචනා කරන තැනකට අප තල්ලුවී ඇත. එතැන ඇත්තේ දහමකට වඩා ඇදහිල්ලක් හෙවත් අගමක්ය. ඒ නයින් බුද්ධාගමද ආගමකි. බුදු දහම තුළ ආයාචනා නැත, ඇත්තේ ධම්මානු-ධම්ම පටිපදාවක් හෙවත් මාර්ග ප්‍රතිපදාවක් පමණි . කුමන අගමිකයෙකුට වූ වද ඒ මග යා හැකිය.
මගේ අදහස දැක්වීම කෙටිකිරීමේ අටියෙන් මෙසේ ලියමි.
කතුවරයා උපුටා දක්වන භික්ෂුන් වහන්සේ බුදු – දහමේ හරය ගැන එහි සඳහන්වෙන තරුණයාට ඉඟි කරද්දීත්, ඔහු පිනෙන් පෝසත්වී අවසානයේ පරලොවදී දිව්‍ය ලෝක සවාරියකින් අනතුරුව නිවන අවබෝධ කරගන්නට කියාදෙන බුද්ධාගමක් තුළ අතරමං වී ඇති බව පෙනේ. ඒ අනුව ‘දඹුල්ලෙ වැදගෙන තලගොයෙකුත් මරාගෙන එනවාය’ කියන විදියේ කතාවක් අපේ ජනවහරට එකතුවීම ගැන මම පුදුම නොවෙමි.
By Dr Kodisinghe Herath – Auckland